Colombo Today Local News

හොරු අල්ලන්න ආ ආණ්ඩුව මහබැංකුවේ යතුර හොරෙකුට දුන්නා.. ජනපතිගෙ කඩුව මලකඩ කාලා

දැන් තමන් කඩුව අතට ගත්තා යැයි ජනාධිපතිවරයා කීවත් අවුරුදු තුනක්ම පාවිච්චි නොකළ ඒ කඩුව දැන් මලකඩ කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

රටේ වත්මන් තත්ත්වය හා ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ සිය බලය පාවිච්චි කළ ආකාරය පිළිබඳව ඉකුත්දා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දැන් හීනෙන් අවදි වෙලා වගේ කියනවා දැන් මම කඩුව අතට ගත්තා. ඒකෙන් කවුරු කැපෙයිද දන්නෙ නෑ. ඥාතියෙක් කැපෙයිද, පාක්ෂිකයෙක් කැපෙයිද, දන්නෙ නෑ කියලා. මේවා රට්ටු හිනස්සන කතා.

ජනතාව සිරිසේන මහත්තයා අතට රටේ තියෙන ප්‍රබලම කඩුවක් දුන්නේ 2015 ජනවාරි අටවැනිදා. ඒත් අවුරුදු තුනක්ම ඒ කඩුවෙන් වැඩක් ගත්තේ නෑ. අඩු ගානේ මේස පිහියකින් කරන්න පුළුවන් දෙයක්වත් මෙයා කළේ නෑ. පාවිච්චි කරන්නේ නැතිවම ඒ කඩුව දැන් මලකඩ කාලා.

එයා මොනවාද පසුගිය කාලෙ කළේ. එක සැරයක් මාධ්‍යයට කිරි පැකට් එකක් අරන් ආවා. ඒකෙ සීනි වැඩියි කියලා ඒකට විරුද්ධව මාරාන්තික සටනක් කරනවා කිව්වා.

කඩුවක් දීලත් කිරි පැකට් එකේ සීනි අඩු කරගන්න බැරිවුණු මිනිහෙක්. තව සැරයක් කීවා ජනතාවට ඇස්බැස්ටෝස් මාරාන්තිකයිලු. ඒකෙ පිළිකාකාරක තියෙනවා කියලත් කිව්වා. අපි හිතුවා ඒකට විරුද්ධව කඩුව පාවිච්චි කරයි කියලා. ඒත් කළේ නෑ. ඔන්න දැන් ආපසු ඇස්බැස්ටෝස් එනවලු. ජනතාව කඩුවක් දුන්නට මේ කඩුවෙන් කරපු දෙයක් නෑ.

2015 කිව්වේ හොරුන්ට, වංචනිකයන්ට දඬුවම් දෙන්න බලය දෙන්න කියලා. බලය දුන්නා. දැන් කියනවා කඩුව අතට ගත්තලු. හොරුන්ට දඬුවම් දෙනවලු. අවුරුදු තුනක්ම මොකුත් නොකරපු කෙනා දැන් මොනවා කරන්නද? ඒ නිසා සිරිසේන මහත්තයාට දැන් තියෙන්නේ ඔය මලකඩ කාපු කඩුවෙන් බෙල්ල කපාගන්න එකයි.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයාවත් එයාගෙ හවුලේ ඉන්න අයවත් ජනතාවට දුන් පොරොන්දු ඉටුකළේ නෑ. ඒ වෙනුවට මොනවාද කරන්නේ. කාන්තාවන් සීයක් දූෂණය කරලා ප්‍රිය සම්භාෂණ පවත්වපු අකුරැස්සේ සභාපතියා වගේ උන්ටත් ඔන්න නාම යෝජනා දීලා. නවගත්තේගම ගුරුවරිය දණගස්සපු එකා. කුඹුක්ගැටේ කලාකරුවන්ට පහර දුන්න එකා. හම්බන්තොට සෙල්ලම් පිස්තෝලකාරයා. මේ වගේ උන්ටත් නාම යෝජනා දීලා. ඔහෙම උන් එක්කද ලැජ්ජා නැතිව ආයෙත් බලය ඉල්ලන්නේ.

මොකටද මහත්තයෝ ඔය මලකඩ කාපු කඩුව? අඩු ගානෙ මහ බැංකුව හොරාකාපු උන්ටවත් ඕකෙන් කොටන්න බැරිද? මේගොල්ලො හොරු අල්ලන්න කියලා ඇවිත් මහ බැංකුවේ යතුරත් හොරෙකුට දුන්නා.

කඩුව කෙසේ වෙතත් රටේ මිනිස්සු නම් කියන්නේ ඔහේ මාර බඩුව කියලයි. ඔන්න දැන් එන එන අයට ඇමැතිකම්. රාජ්‍ය ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් බෙදනවා.

ඉන්න තරම මදිවාට රටේ ජනතාවට තවත් බර පටවනවා. මෙයා වටෙත් ඉන්නවා ගෝලයෝ ටිකක්. මේ බදුල්ලේ ඉන්න කවට අන්දරේ වගේ මාර බඩු ටිකක්. මේ වගේ බඩු ළඟ තියාගෙනයි මෙයා කඩු ගැන කතා කරන්නේ. ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ජනවාරි 8 ජනතාව දුන්නු කඩුවෙන් වැඩ නොගත්ත එකේ විපාක පෙබරවාරි 10 බලාගන්න පුළුවන් වෙයි.

ඇටම්පිටිය – රත්න වීරසිංහ

Related posts

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin