ArticlesColombo Today Local News

මහින්ද හිමියන් ‘සංහිදියාවට‘ බාධාවක්.. ධර්මපාලතුමා ජාතිවාදියෙක්… යහපාලනයෙන් සිරගත කරයි !!

ඥානසාර හාමුදුරුවන් උද්වේගකාරී ලෙස හැසිරෙන බවටත් ප්‍රකෝපකාරී ලෙස ආගම් වාදය සහ ජාති වාදය අවුස්සන බවටත් චෝදනා ලැබ ඇත. මෙය බෞද්ධ භික්ෂුවකට උචිත නොවන බවත්, උන් වහන්සේ වනගත ව කමටහන් වැඩිය යුතු බවත්, වැඩි වැඩියෙන් බණ දේශනා කරන්නට පෙළඹිය යුතු බවත්, ඇසෙන නෑසෙන ලෙස බිම බලාගත්වන ම මුදු මොලොක් ලෙස ම අදහස් පළ කළ යුතු බවත් බොහෝ දෙනෙකු පවසන්නේ ය.

උන්වහන්සේලා නිහඬව කමටහන් වැඩියහොත් විදේශීය අන්තවාදීන්ට තම මූලධර්මවාදී මත පතුරුවා බෞද්ධයින් තම ආගම් වලට හරවා ගැනීමේ කාර්යය ඉතා පහසුවෙන් කළ හැකි ය. නමුත්, ඔවුන්ගේ ඒ අන්තවාදී අරමුණ ඉටු කර සිංහල බෞද්ධයින් විනාශ කිරීම කළ නොහැකි වී ඇත්තේ අද භිෂුන් වහන්සේලා බෞද්ධයා සහ බුද්ධ සාසනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී කටයුතු කරන නිසා ය. මෙය හඳුන්වන්නේ පර්යාප්ති සාසනය යනුවෙනි. අද ලංකාවේ තවමත් බුද්ධ සාසනය නොනැසී පවතින්නේ පර්යාප්ති සාසනය හේතුවෙනි. සමහරක් බෞද්ධ රටවලින් බුද්ධ සාසනය නැතිවී යාමට හේතු වූයේ භික්ෂූන් වනගත ව, සාමාන්‍ය ජනතාවගෙන් ඈත් ව විදර්ශනා වැඩූ නිසා ය. භික්ෂූන් සාමාන්‍ය ජනතාව සමඟ ගැටෙන තරමට බුද්ධාගම ද සුරැකෙනු ඇත.

බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය භික්ෂූන් වහන්සේ සතු ව ඇති බව අවිවාදයෙන් පිළිගත යුතු ය. සුළු ජාතීන්ගේ වැඩි ඡන්දයෙන් තේරී පත්වුණු මේ ආණ්ඩුව සුළු ජාතීන් රැකීමට කැප වන අතර මහා ජාතිය වන සිහල ජාතිය සහ බුද්ධාගමට වන හානිය පිළිබඳ ව තඹ දොයිතුවකවත් සැලකිල්ලක් දක්වන්නේ නැත. ආගමික සහ ජාතික සහජීවනය යන නාමයෙන් ජනතාව මුලාකොට සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා හෙලා දකිමින් උන් වහන්සේලාට නොයෙකුත් අගෞරව සහ අකටයුතුකම් කරමින් විදේශීය ආගමික අන්තවාදීන්ගේ මනදොළ සපුරාලන්නට කටයුතු කරන බව ඉතා පැහැදිළි ය.

පරදේසීන්ගෙන් රට දැය සමය රැක ගැනීමට කැපවූ භික්ෂූන් වහන්සේලාට නොයෙකුත් අඩන්තේට්ටම් වලට මුහුණ පාන්නට අතීතයේ සිට ම සිදු විය. එකළ ඒ පරදේසක්කාරයින් ය. අද රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින අභීත භික්ෂූන්ට අඩන්තේට්ටම් කරන්නේ, නිග්‍රහ කරන්නේ, සිරගත කරන්නේ උන් වහන්සේලාගෙන් ම පිරිත් කියවා ගෙන, උන් වහන්සේලා දේශනා කරන බණ අසා ගෙන සුදු හැඳගෙන පන්සල් යන බෞද්ධයින් යැයි මවා පාන (මොවුන් සැබෑ බෞද්ධයින් දැයි සැක ය) පාලකයින් ය. මෙය දෙපිට කාට්ටු කමකි.
ආවේගශීලී වීම භික්ෂුවකට අකැප යැයි පවසන්නේ බියගුළු පිරිසකි. ජාතියත් ආගමත් රැක ගත යුතු තැන ආවේගශීලී විය යුතු ම ය. ගිහියෙකුගේ වචනයකට වඩා භික්ෂුවකගේ වචනය ප්‍රබල ය. එයට ඉහළ පිළිගැනීමක් හා ගරුත්වයක් ඇත. එදා ගිහියන්ට අවවාද උපදෙස් දුන්නේ පන්සලේ හාමුදුරුවන් ය. බෞද්ධයින් යනු භික්ෂූන් වහන්සේලාගේ කීමට ගරු කරන, උන්වහන්සේලාගේ උපදෙස් පිළිපදින උන් වහන්සේලාගේ නායකත්වය පිළිගන්නා පිරිසකි. ඒ හේතුවෙන් ම අතීතයේ පටන්, රට ජාතිය ආගම බේරා ගැනීමේ සටනේ පෙරමුණ ගත්තේ භික්ෂූන් වහන්සේලා ය. උන් වහන්සේලා බොහෝ ආවේගශීලී විය. ‘වෙන දෙයක් වෙච්චාවේ, එදා වේල කන්න ලැබුණොත් ඇති’ යන සිංහලයාගේ මානසිකත්වය නැති කොට ඔවුන් ද ආවේගශීලී කරවා සටන් කොට ජාතිය ආගම බේරා ගැනීමට කැපවූ භික්ෂූන් වහන්සේලා ජීවත් වූ රටක් ලංකාව හැර වෙන කොහේවත් ඇත් ද?

මේ සඳහා අතීතයෙන් අපට බොහෝ උදාහරණ ගත හැක.

1800 ශතවර්ෂය වන විට මුළු මහත් දිවයින ම විදේශාධිපත්‍යට යටත් වුණු යුගයක් විය. සිංහලයාගේත් බෞද්ධයාගේත් පරිහානියේ ආරම්භය සිදු වන්නට පටන් ගත්තේ මේ වකවානුවේ බව අවිවාදයෙන් පිළිගත හැක. මේ වන විට බෞද්ධ උරුමයෙන් හා ආගමික සිද්ධස්ථානයන්ට මිෂනාරීන්ගෙන් එල්ල වූයේ සුළු පටු හානියක් නොවේ. විනාශ මුඛයට ලංව ඇති බුදු දහම බේරා ගැනීමේ කර්තව්‍යයට එකළ නොබිය ව අත ගැසුවේ බෞද්ධ භික්ෂූන් ය.

1815 දී ඉංග්‍රීසින් කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර සිහළ කොඩිය බිම දමා බි්‍රතාන්‍ය කොඩිය ඔසවන ලදී. මේ අවස්ථාවේ සිහළ රටේ ගෞරවය සුරැකීමට නො බිය ව ඉදිරිපත් වූයේ ගිහියෙකු නො ව භික්ෂුවක වන වාරියපොළ සුමංගල හිමි ය. උන් වහන්සේ බි්‍රතාන්‍යයන් විසින් බිම හෙලූ සිංහල කොඩිය යළි ඔසොවා ඉංග්‍රීසි කොඩිය බිම හෙළන ලදී.

1818 උඩරට නිදහස් අරගලයේ දී වාරියපොල ශ්‍රී සුමංගල හිමියෝ දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවෙන් රැගෙන එය සැඟවීම පිණිස හඟ=රන්කෙත ප්‍රදේශයට වැඩිය හ. පසු වල දන්ත ධාතූන් වහන්සේ අරගලය මෙහෙයවූ මොනරවිල කැප්පෙටිපොල දිසාවේට භාර දුන්නේ ය. සිංහලේ සාම්ප්‍රදායිකව දන්ත ධාතූන් වහන්සේගේ හිමිකාරීත්වය හිමි අයට රට පාලනය කිරීමේ අයිතිය ලැඛෙන නිසා වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ඇතුළු පිරිස දන්ත ධාතුන් වහන්සේ රැක ගැනීමට දිවි හිමියෙන් කැප වූහ.නමුත් බි්‍රතාන්‍යයන් විසින් 1818 නොවැම්බර් මස සුමංගල හිමියන් ජීවග්‍රහයෙන් අල්වාගෙන රාජද්‍රෝහී වීම වෙනුවෙන් චෝදනා එල්ල කර යාපනයේ සිරගත කරන ලදී.
ඉංග්‍රීසින් විසින් ගෙන ගිය බෝධි වෘක්ෂ කපා දැමීමට විරුද්ධව නොබිය ව හඬ නැගූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි එවකට ඉංග්‍රීසින්ගෙන් තාන්න මාන්න ලැබූ කළු සුද්දන් ට ප්‍රසිද්ධියේ අභියෝග කළ හ. එමෙන් ම, එකළ බුද්ධාගමට විරුද්ධ ව නැගුණු මිත්‍යා මතිමතාන්තර වලට අභියෝග කරමින් බද්දේගම වාදය, උදම්මිට වාදය සහ සුප්‍රසිද්ධ පානදුරාවාදය ආදී විවාදයන්හී ප්‍රධාන කථිකයා බවට පත් වෙමින් උන්වහන්සේ කළ සේවය අදත් සිංහල බෞද්ධයා සිහිකරන්නේ ගෞරව සහ කෘතඥ පූර්වක හැඟීමකිනි. බුදු දහම පිළිබඳ මිෂනාරීන් වැරැදි මත පැතිරවීමට එරෙහිවත්, ඒ මිත්‍යා මත බිඳහෙළා බුදු දහමේ නිර්මල බව පෙන්වීමටත්, බොදු භික්ෂූහු විසින් පවත්වනු ලැබූ ඉහත කී වාදයන්ට අවශ්‍ය බොහෝ කරුණු රැස් කර දුන්නේ හික්කඩුවේ සුමංගල හිමියන් විසිනි. උන් වහන්සේ එකළ අභීතව තෙලිතුඩ හසුරුවා බුදු දහම රැක ගන්නට දායකත්වය දුන් හ.

සිරි දේවමිත්ත දම්මපාල නමින් පැවිදි වූ අනගාරික ධර්මපාල තුමා ද සිංහල ජාතිය සහ බුද්ධාගම වෙනුවෙන් අමරණීය සේවයක් කළ ජාතික වීරවරයෙකි. ටිඛෙට් ජාතිකයෙකු වුව ද එස් මහින්ද හිමියන් ද තම කවි ප්‍රභාවෙන් සිංහල ජාතිය සහ ආගම අවදි කළේ සිංහල බෞද්ධයින් තුල අදටත් උන් වහන්සේ පිළිබඳ ව ගෞරව පූර්ව භක්තියක් ඇති කරමිනි.

ර්‍ණපැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන් ම කවුරුත් ඉදිරියට ව රෝ

බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
සිතව් පැවති සමගිය එහි පෙර දවස
නඟව් තව තවත් තිරසර කරුණා ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”
මේ එස් මහින්ද හිමි ලියූ පද්‍යයක කොටසකි.

උන් වහන්සේ සිහල ජාතිය කුළු ගැන්වූයේ මුදු මොලොක් බණ පදයෙන් නොවේ. උන් වහන්සේ එකළ සිංහල බෞද්ධයාට පණ දුන්නේ ර්‍ණවරෙව්, යමව්, නැගිටිව්, නොපියව් දෙඇස” වැනි අවධාරණාත්මක වදන් වලිනි.මේ වදන් වල ගැබ් වී ඇත්තේ අසංවර භාවය නොවේ. මේ සභ්‍ය සිංහල භාෂාවේ ම වචන ය. මෙසේ බර කොට උද්වේගකාරී ව ජනතාව ආමන්ත්‍රණය කිරීමෙන් පමණයි සිංහලයාගේ නිද්‍රාශීලී බව නැති කොට පෙරටම යන්නට ශක්තිය ලැඛෙන්නේ යන්න පිළිගත යුතු සත්‍යයකි.

“ණහිස් මොළ තිඛෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ ”

ජාතියක් කුළු ගන්වන්නට අතීතයේ උන් වහන්සේලා යොදා ගත් මේ අපූරු භාෂා උපක්‍රමය අද ඥානසාර හාමුදුරුවෝ ද අනුගමනය කරති. එසේ නම් උන්වහන්සේ ගේ හැසිරීම හෙලා දකින්නේ ඇයි දැයි ප්‍රශ්නයෙකි . එසේ නම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිල සිරි දේවමිත්ත ධම්මපාල හිමිල එස් මහින්ද හිමිල සුමංගල හිමි යන උතුම් ජාතික වීරවරයින් ද හෙලා දැකිය යුතු ය. මන්ද යත් සමහර අවස්ථාවල ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු උන් වහන්සේලා සිහල ජාතියත් බෞද්ධයාත් අවදි කරවන්නට භාවිතා කළ වචන සහ උන් වහන්සේලාගේ වාග් විලාශය ඥානසාර හාමුදුරුවන්ගේ වාග් විලාශයට වඩා රළු ය. උද්වේගකාරී ය. ධර්මපාල තුමන් අනුගමනය කළේ ද මෙවන් ක්‍රම වේදයක් සහ දරදඬු වාග් ශෛලියකි.

“අපේ සිංහල ගොන් තක්කඩියා මොකද කරන්නේ ? එක්කෝ රා බොනවා නැත්නම් සූදූ කෙළිනවා ඒත් නැත්නම් දෙදන තුරුල් කරගෙන බූරු ඇඳක නිඳි.”

“මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකළාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමළත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමට ම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසිය ම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයි ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,”
– අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

මේ අනුව බැලූ කළ අනගාරික ධර්මපාල තුමා ඥානසාර හාමුදුරුවන්ටත් වඩා ජාති වාදියෙකි, ආගම් වාදියෙකි. අනගාරික ධර්මපාල තුමා අද ජීවතුන් අතර සිටියානම් මේ ආණ්ඩුව එතුමන් ව ජාති වාදියෙක් ආගම වාදියෙක් කියා හංවඩු ගසා හිරේට දමනු නිසැක ය. එය එසේ වනවා නො අනුමාන ය. එයට හොඳ ම සාක්ෂිය ඥානසාර හාමුදුරුවන් ය. මේ රජය මුස්ලිම් අන්තවාදීන්ගේ මන දොළ සපුරන්නට සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ඥානසාර හාමුදුරුවෝ සිර ගත කරන්නට දරු තැත අද සාර්ථක වී ඇත.

අතීතයේ සිටි අභීත භික්ෂූන් වහන්සේලා අද සිටියා නම්, පානදුරාවාදය වැනි විවාදයන්හිදී ආවේගශීලීව අදහස් පළකොට බුදු දහමේ නිර්මල භාවය රැකගත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ද ප්‍රකෝපකාරී ය ආවේගශීලී ය මෙය බෞද්ධ භික්ෂුවකට අකැප ය, ආගම් වාදය ජාති වාදය පතුරනවා යා කියා උන් වහන්සේ තලා පෙලා සිර කර දමනු ඇත. ශ්‍රී සුමංගල හිමියෝ දන්ත ධාතුව රැක ගන්නට කළ කැප කිරීම් ‘ මැර බලයෙන් දන්ත ධාතුව පැහැර ගෙන ගියා යැ’ යි මාධ්‍ය උලුප්පනවා ඇත. ධර්මපාල ආගමික සහ ජාතීන් අතර සහජීවනයට කැළලක් යැයි කියා හංවඩු ගසනු ඇත. රට දැය සමය වෙනුවෙන් නොබියව ලේඛන කලාවේ යෙදුණු හික්කඩුවේ සුමංගල හිමියන් සහ එස් මහින්ද හිමියන් අතුරුදහන් කරවනවා ඇත.

ඥානසාර හාමුදුරුවෝ ඉතිහාසයට එක් වේ ද?

සිංහල ජාතියත් බෞද්ධ ආගමත් ප්‍රාණ සමකොට කටයුතු කළ අතීතයේ විසූ භික්ෂූන් වහන්සේලාගේ නම් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. උන් වහන්සේලා පිළිබඳ ව පාසල් පෙළ පොත් වල පාඩම් ද සකස් වී ඇත. රටේ විවිධ ස්ථාන වල උන්වහන්සේලාගේ පිළිරූ ද ඉදිකොට ඇත. දේශපාලන පළිගැනීම් සහ විදේශීය අන්තවාදීන්ට ගැති රජයයන් පවතින තුරු ඥානසාර හාමුදුරුවන්ට අතීතයේ විසූ අභීත භික්ෂුන්වහන්සේලාට මෙන් අඩන්තේට්ටම් වලට මුහුණ දෙන්නට සිදුවේවී. අද නැතත්, තව ශතවර්ෂයකින් පමණ ඥානසාර හාමුදුරුවන් ගැන පෙළ පොත් වල සඳහන් වනු ඇත. ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවා ඇත. රටේ තැන තැන පිළිරූ ද ඉදි වනවා ඇතග ඒ බව ඉතිහාසයේ සාක්ෂි විමසා බැලීමේ දී නිසැකව ම කිව හැක. මැණිකෙහි අගය කණා දන්නේ නැත. කණාට මැණිකෙහි අගය පහදා දීලාත් වැඩක් නැත. මේ ආණ්ඩුවට ඥානසාර හාමුදුරුවන්ගේ අගය දන්නේ නැත. ඔවුන්ට වටින්නේ විදේශීය අන්තවාදීන්ගේ ගැත්තන් ය. ඒ නිසා මේ ආණ්ඩුවට ඥානසාර හාමුදුරුවන්ගේ වටිනාකම කියා දීලා ද පලක් නැත.

‘සහන ලැඛෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
මහණ කමත් බණ දහමත් එයයි මට’

එස් මහින්ද හිමියෝ පද්‍යයෙන් එසේ ප්‍රකාශ කළ හ. ඥානසාර හාමුදුරුවෝ පද්‍ය නොලීවාට උන් වහන්සේ ගේ ක්‍රියාවෙන් පෙන්වන්නේ මෙය ම නොවේ ද?

‘සහන ලැඛෙන තුරු හෙළ බොදු ජනයාට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යති ඉදිරියට
වීර බුදු පුතුන් සවියකි රට දැයට’

– පංචමී හේවාවිසෙන්ති

Related posts

අනුර කුමාර කියන්නේ පච – මෛත්‍රිපාල හැරෙන තැපෑලෙන් උත්තර දෙයි

colombotoday

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුතිය නිමයි.. 2020 ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති නම් කරයි !

colombotoday

වැලන්ටයින් දවසේ ලංකාවේ 21ට අඩු තරුණියන් 9400කට අඬන්න වෙන හේතුව මෙන්න

colombotoday

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday