Colombo Today Local News

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් ගුටි කෑ පොස්පේට් සේවකයාගේ වැඩ තහනම් කරයි

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතාගේ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්වයකදී සේවකයකු විසින් වංචා දූෂණ වලට සම්බන්ධ යැයි පවසා විධායක නිළධාරියකුට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක් වූ සැපයුම් නිළධාරීවරයාගේ සේවය තහනම් කිරීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

එදින රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතාගේ සංචාරය අවස්ථාවේදීද අමාත්‍යයවරයා විසින් එම නිළධාරියාගේ සේවය තහනම් කරන ලෙසට සභාපතිවරියට අමාත්‍යයවරයා උපදෙස් ලබා දුන්හ.

ඊයේ (18) දින සිට සේවය තහනම් කළ බවට සැපයුම් නිළධාරී එස්.ඒ අබේසිරි මහතාට ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිපියක් මගින් දැනුම් දී ඇත.

එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනයේ සැපයුම් නිළධාරී ලෙස කණිෂ්ඨ සේවා ගණයේ තනතුරක සේවය කරනු ලබන ඔබගේ සේවය. ලංකා පොස්පේට් ලිමිටඩ් (රාජ්‍යය සමාගමේ) විනය පාලන නීතී රීතී 2006 (අ) සඳහන් නියමයන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩ හි XLVIII වැනි පරිච්ජේදයේ 31:1, 31:1:7, 31:1:8 හා 31:5:1 උප වගන්තීන් යටතේ පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී වැටුප් රහිතව මෙයින් තහනම් කරනු ලැබේ.

ඒ අනුව, රාජකාරී කටයුතු සඳහා ඔබ භාරයේ ඇති ආයතනය සතු සියළුම ලියකියවිලි/ උපකරණ/ බඩු බාහිරාදිය/ ද්‍රව්‍ය හා ලිපිලේඛන ගණකාධිකාරී වෙත හෝ එම මහතා විසින් නම් කරනු ලබන අයෙකු වෙත විධිමත්ව භාර දී සේවා ස්ථානයෙන් ඉවත් විය යුතුය.

වැඩතහනමට ලක්ව සිටින කාළය තුළ මාගේ විධිමත් අවසරයකින් තොරව ඔබට මෙම ආයතන භූමියට ඇතුළු වීමට අවසර නොමැත.

වැඩ තහනමට ලක්ව සිටින කාළය තුළ ලිපිගොනු ගනුදෙනු කිරීම සඳහා ඔබගේ ස්ථීර ලිනිය ලිඛිතව දැනුම් දෙන්න.
මෙම මුල් පිටපත භාර ගත් බවට මේ සමඟ අමුණා ඇති අනුපිටපතේ අත්සන් කර එම පිටපත අප වෙත ලැබීමට සල්සවන්න යැයි වැඩිදුරටත් එම ලිපියෙහි සඳහන්ව ඇත.

පසුගිය 17 වැනි දින එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කරනු ලැබීය.

ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ ඇඹරුම් යන්ත්‍රක් සඳහා අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමේදී අදාළ සැපයුම් නිළධාරීවරයා අවශ්‍ය අමතර කොටස වෙනුවට වෙනත් වර්ගයේ එකක් ගෙන්වා ඇති බවත්, එය ගෙන්වා මාස ගණනක් ගත වී ඇතත් එය තවමත් ආපසු යවා, මාරු කර, අවශ්‍යය අමතර කොටස ගෙන්වා නැති බවත් සේවකයින් එහිදී පැවසීය.

ඒ මගින් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.

අදාළ අමතර කොටස ඇණවුම් කල නිළධාරියා වන සැපයුම් නිළධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යයවරයා පැවසීය. ඒ ස්ථානයට පැමිණි සැපයුම් නිළධාරීවරයට අමාත්‍යයවරයා මෙන්ම සේවකයින් පිරිසක්ද චෝදනාවන් සිදු කරනු ලැබීය. ඒ අතරතුර එක් සේවකයකු විසින් එක්වරම සැපයුම් නිළධාරීවරයාගේ කමිසයෙන් ඇද පහරදීමක් සිදු කරනු ලැබීය.

එම පහර දීම සිදු වීමට පෙර අමාත්‍යයරයා විසින් ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ සභාපතිවරිය ඇතුලු උසස් නිළධාරීන් හා සේවකයින්ට මෙන්ම පොලිස් නිළධාරීන් ඉදිරියේ අදාළ සැපයුම් නිළධාරියාට චෝදනා සිදු කරමින් කියා සිටියේ, “මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න. මෙතන්ට ඒ.එස්.පී ගෙන ආවේත්, ඔ.අයි.සී ගෙන ආවේත්, ගැහුවොත් මුං ගහලා එළවන්න. මං ඩී.අයි.ජීටත් එන්න කිව්වා, මුංගේ පැමිණිල්ලක්වත් භාර ගන්න එපා. පට්ට හොරු 04 දෙනෙක් ඉන්නවා මේකේ. මේක හයි කරන්න බෑ කියනවා නම් ඉංජිනේරුවා, මේ තමුන්ගේ අම්මා -අප්පාගේ බූදලයක් නෙමෙයිනේ ලක්ෂ 50 ක්, මේක දීලා ආපහු සල්ලි අරන් දෙන්න. පර්චස් කලේ ඔයා නේ.”

එහිදී සැපයුම් නිළධාරීවරයා කියා සිටියේ, “ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයට අනුවයි තමන් මෙම මේ මිලදී ගැනීම සිදු කලේ. ඇමතිතුමා නෙමෙයි කවුරු කීවත් මම මේ ආයතනයෙන් සත පහක්වත් වංචා කරලා නෑ, පුලුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න” යනුවෙනි.

ඔප්පු කරන්න හොරකම් කරනවාද මේ රටේ මිනිස්සු යැයි ඇමතිවරයා එහිදී උස්හඩින් පැවසීය.

අනතුරුව අමාත්‍යයවරයා ආයතනයට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර බව පවසන බෑග් තොගයක් අසලට ගොස් “මේ බෑග් කන්නද?” යැයි අදාළ නිළධාරියාගෙන් විමසා සිටියේ. “මේ සතියේම මෙයාගේ වැඩ තහනම් කරලා මෙයා යවන්න. එකක් බෑග්, එකක් අර ගියර් බොක්ස් එක. මේකේ ගේට්ටු ගානේ ඇවිල්ලා, පැමිණිලි දැම්මොත් ඒ.එස්.පී මහත්තයා බලා ගන්න. සේවකයෝ ගහලා එළවයි. යන්නම තමයි මේ කියන්නේ. තව තුන් දෙනෙක් ඉන්නවා” යනුවෙනි.


අනතුරුව සේවක හමුවක් ඇමතූ චාමර සම්පත් අමාත්‍යයවරයා කියා සිටියේ,

“මං එන්න කලින් බෑග් අරන් තියෙන්නේ 140 ට, දැන් රුපියල් 40-50 ක් අඩුවෙන් ගන්නේ, මේ සියල්ල සිදු වුණේ මම එන්න කලින්, ඇණයක බුෂ් එකක් 80 000 කට අරන් තියෙනවා.තව මැෂින් එකක් ගෙනත් තියෙනවා ලක්ෂ ගණනකට. මේවා එක එක්කෙනාට දරා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ආයතනය මගේ එකක්වත් සභාපතිතුමියගේ එකක්වත් නෙමෙයි.මේක මේ ගමේ ජනතාවගේ එකක්, මේක ආරක්ෂා කිරීමේ වගකීම සේවකයින්ට තියෙනවා. පිටස්තරින් ඇවිත් මේකේ ඉහළ තනතුරු වල වැජඹෙලා හම්බකරන් කන්න බෑ.ඒ ගොල්ලනට වැටුපක් දෙනවා, දීමනා දෙනවා.එතනින් එහාට මොනවාද ආයී.04 දෙනෙක් එකතු වෙලා මේ ආයතනය පාලනය කරන්න දෙන්නේ නෑ.වැඩ කරන්න බැරි අය ඉන්නවා නම් අයින් කරන්න කියලා සභාපතිතුමියගෙන් ඉල්ලනවා. සේවක මහතුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා ඔය ගොල්ල නීතිය අතට ගන්න එපා. නීතියට අනුව ඉදිරියේදී පරීක්ෂණ සිදු කරයි. පොස්පේට් එක වැටෙන්න නොදී අපි ආරක්ෂා කර ගන්න ඔ්න. එක්කෝ මේවාට සම්බන්ධ 04 දෙනා ඉවත් වෙලා යන්න ඔ්න, නම්බුකාර විදිහට නැත්නම් අපි අයින් කරනවා. මම සභාපතිතුමියට කියනවා මොන වෘත්තීය සමිතිය කථා කළත්, මොන දේශපාලඥයෝ කථා කලත්, මේ අය කරලා තියෙන දේවල් ගැන පරීක්ෂණ කරන්න. පරීක්ෂණ කරනකල් වැඩ තහනම් කරන්න. නිවැරදි කරුවෝ නම් නැවත රැකියාව ලැබෙයි.” යැයි පැවසීය.

Related posts

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන්න. නැත්නම් නීතිමය පියවර ගන්නවා.

colombotoday

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

colombotoday

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

colombotoday

වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වෙයි.

colombotoday

ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday