බුදු දහමට විශාල සේවයක් කළ අනගාරික ධර්මපාලතුමා ද අවසානයේ කලකිරීමෙන් රටින් පිටව ගිය ද තමා එසේ කලකිරීමට පත් නොවන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි.
“මම කතරගම දෙවියන්ට පිං සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ රෝගී දරුවන්ට කළේ සේවයක්. මා කිසිදු දේශපාලන අරමුණකින් හෝ කිසිවකු ප්‍රවර්ධනය කිරීමේ යටි අරමුණකින් මෙම රෝහලට උපකාර කළේ නැහැ.පොදු සේවයක් අගය නොකර මා සොරකු බව පවසා සමාජ ක්‍රියාකාරී තුෂාර කියන මහත්තයා රහස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
කතරගම දේවාලයෙන් කරන සෑම සමාජ සත්කාරයක්ම නිසි විනිවිදභාවයකින් කර තිබෙනවා. මහරගම ළමා වාට්ටුවට වැය කරපු සෑම සතයක්ම කාටත් බලාගන්න හැකි වන ලෙස ගිණුම්ගත කර තිබෙනවා. දරුවෙකුට වතුර උගුරක්වත් නොදුන් අය මේ වැඩේට චෝදනා කරනවා. මහරගම රෝහලේදී සෞඛ්‍ය ඇමැතිතුමා කළ කතාව වරදක් ලෙස මා දකින්නේ නෑ. එතුමා කිව්වේ ඉදිරියට කරන සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධවයි.
ඒ වගේම මාවත් දේශපාලනයට ගාවලා කතා කරනවා. එදා මම රෝහලට ගියේ මහේන්ද්‍ර මාරසිංහ නමැති රෝහලට ආධාර කළ මහත්තයෙක් එක්ක. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගැන කිව්වා කියලා සමාජ මාධ්‍යවල කතා හදලා.මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ හැටියට රටේ සිටින සෑම මහජන නියෝජිතයකුටම සහ සෑම රජයකටම ගරු කරනවා. දේවාලයේ සංවර්ධන වැඩවලට දේශපාලනය ගාවා ගෙන නැහැ. බුද්ධාගම බේරාගත්ත අනගාරික ධර්මපාලතුමා මහමෙරක් සේවය කරලා දැඩි කලකිරීමෙන් රටින් ගියා.
මම එසේ කරන්නේ නෑ. රජයේ උපදෙස් මත තව ගොඩනැඟිල්ලක් මහරගම පිළිකා රෝහලට හදලා දෙනවා. මටත් දරුවෝ ඉන්නවා. සමාජයට සේවයක් කළම එයාට හොරා කියනවා. මේවා හෙළාදැකිය යුතුයි. මේ නිසා උපකාර කරන අය කලකිරීමට පත්වෙනවා. පොදු වැඩ නතර කරනවා.කතරගම දේවාලයේ අයවැය කාටත් බලන්න පුළුවන්. අද කතරගම තරුණ තරුණියන් හෝටල්වල රැකියා කරන්න නොමිලේ පුහුණුවීම් කළා. රට රැකියාවලට යන්න පුහුණුවීම් කළා. දරුවන්ට අමතරව පංති කළා. මම හැමදාම බස්නායක නිලමේ විදිහට ඉන්න ආවේ නෑ. කතරගම කළ සංවර්ධනය මම ගෙදර ගිනියන්නේ නෑ. මම සොරකු ලෙස මාධ්‍යවලට කියූ මහත්තයා ගැන අනුකම්පා කරනවා. ජීවත් වෙන්න කරන රැකියා තමයි කාටහරි අපහස කරන එක.”
බස්නායක නිලමේවරයා එසේ පැවසුවේ ඊයේ (05) 2024 රුහුණු මහා කතරගම දේවාලයේ අයවැය වාර්තාව මාධ්‍ය වෙත ලබාදීම වෙනුවෙන් බස්නායක නිල නිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.