Colombo Today Sports News

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයට

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ශූර පේලේ ජීවිතක්ෂයට පත් වී තිබේ.

මිය යන විට ඔහු 82 වන වියේ පසු විය.

ඔහු සිය රට වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ද ඇතුළුව වසර 21ක ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස් කරමින් ලෝක වාර්තාවක් තැබුවේ ය.

1958, 1962 සහ 1970 වසරවලදී තුන් වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනූ එක ම ක්‍රීඩකයා වන පේලේ 2000 වසරේදී FIFAහි සියවසේ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරිණි.

ඔහු පසුගිය වසර කිහිපය තුළ වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත ආබාධවලින් පීඩා විඳිමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉකුත් වසරේ ඔහුගේ බඩවැල් ආශ්‍රිතව ඇති වූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වීමට ද ඔහුට සිදු විය. මෙම වසරේ නොවැම්බර් මස ඔහු යළිත් රෝහල්ගත කර තිබිණි.

අනතුරුව ඔහු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී ඇත.

ඔහු ප්‍රතිකාර ලැබූ සාඕ පවුලෝහි ඇල්බට් අයින්ස්ටයින් රෝහල සඳහන් කර ඇත්තේ, බඩවැල් ආශ්‍රිතව ඇති වූ පිළිකා තත්ත්වය මත අවයව කිහිපයක් අකර්මණ්‍ය වීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.

“පෙලේ සෑම විට ම විශිෂ්ටතම ක්‍රීඩකයාට ත් වඩා බොහෝ සෙයින් ඉහළින් සිටින බව” බ්‍රසීල පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබේ.

පේලේගේ අභාවය හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ එරට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

එළෙඹෙන අඟහරුවාදා ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතුත් සිදු කිරීමට නියමිත අතර සාඕ පවුලෝහි සැන්ටෝස් වීදි හරහා අවමංගල්‍ය පෙරහරකින් පෙලේගේ දේහය පවුලේ සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.

Related posts

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

පළමු දිනයේදීම සුරංගගෙන් කඩුළු පහක්..

colombotoday

ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

colombotoday