Colombo Today Local News

මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා – සී.වී. විග්නේෂ්වරන්

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවීම් පිළිබඳව කරුණු සොයා බැලීමට තමන් ජාත්‍යන්තර මට්‌ටමේ පරීක්‌ෂණයක්‌ ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා සන්ධාන පක්‌ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා 9 දා යාපනයේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දෙමළ ජනතා සන්ධාන පක්‌ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මුස්‌ලිම් ජනතාව යනු මේ රටේම ජන කොටසක්‌ වුවත් කිසිදු හේතුවක්‌ නොමැතිව ඔවුන්ට ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට හා රටේ පවත්නා වලංගු නීතියට පටහැනිව බොහෝ අසාධාරණකම් සිදු වූ නිසා තමන් ඊට ජාත්‍යන්තර මට්‌ටමේ පරීක්‌ෂණයක්‌ ඉල්ලා සිටින්නේ තම පක්‌ෂය හරහා බවද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.

රට තුළ සිදු වූ ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ පදනම් කරගෙන ජාතිවාදය කරපින්නා ගත් පිරිසක්‌ මුස්‌ලිම් ජනයාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ වශයෙන් සියලු දෙනාම දැකිය යුතු බවද විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කළේය.

මුස්‌ලිම් ජනතාව දෙමළ ජනතාවගේ සහෝදර ජන කොට්‌ඨාශයක්‌ වශයෙන් සලකා තමන් ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලය ඇතුළු ලෝකයේ රටවල් හා සංවිධාන කීපයකට ලිපියක්‌ යෑවීමට සැලසුම් කොට ඇති බවත් ඒ මගින් මේ ජාත්‍යන්තර පරීක්‌ෂණය ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනතාවට හා දේශපාලනඥයන්ට ඉතා කුරිරු හා ජනතාව කුපිත වන අන්දමට සැලකීම තම පක්‌ෂය අනුමත නොකරන බවත් මුස්‌ලිම් දේශපාලනඥයන්ට සිදු වූ අසාධාරණයට රජය වගකිව යුතු බවත් විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි. මුස්‌ලිම් දේශපාලනඥයන්ට එරෙහිව චෝදනා රැසක්‌ ඇති බවට ප්‍රචාරයන් ගෙන ගියත් රජයට හා ආරක්‌ෂක අංශවලට ඒවා මෙතෙක්‌ පැහැදිලිව ඔප්පු කරගැනීමට නොහැකි වූ බවද විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.

එක්‌ පිරිසක්‌ මේ මුස්‌ලිම් දේශපාලනඥයන්ට චෝදනා ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන්ව දේශපාලන භූමියෙන් ඉවත් කිරීමට සූදානම් වෙද්දී තවත් දේශපාලාන්ඥයන් පිරිසක්‌ ඒ මුස්‌ලිම් දේශපාලනඥයන්ව ඔවුන් ළඟට කැදවා ගෙන දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව ටී. එම්. කේ පක්‌ෂයේ නායක විග්නේෂ්වරන් මහතා මෙහිදී උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.

මුස්‌ලිම් දේශපාලනඥයන්ට චෝදනා ඇත්නම් ඒ චෝදනා රටේ සියලුම දේශපාලන පක්‌ෂවලට චෝදනා විය යුතු නමුත් දකුණේ සිංහල බෞද්ධ දේශපාලන පක්‌ෂවලට සහය දක්‌වන්නේ නම් ඒ චෝදනා, චෝදනා වශයෙන් ඔවුන් නොදකින බවද විග්නේෂ්වරන් මහතා පැවසීය.

බලයේ සිටින හා මෙතෙක්‌ බලයේ සිටි දකුණේ සිංහල බෞද්ධ දේශපාලන පක්‌ෂවල නායකයන් ඔවුන්ට හිතවත්කම් පෑ විවිධ චෝදනාවලට ලක්‌ වී සිටි විවිධ පුද්ගලයන්ව අධිකරණවලින් පවා නිදහස්‌ කළ බව ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

colombotoday

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

colombotoday

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලයි

colombotoday