Colombo Today Local News

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – හිටපු අගමැති රනිල්

2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06)දින පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදීම සඳහා උදෑසන 10 ට පමණ එහි පැමිණියේය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකම පවුලක් ලෙස හිටපු තැන් වලත් ගැටුම් ඇතිවෙනවා නේදැයි විමසමින් 2018 ඔක්තෝම්බර් 26 ඇති වූ ආණ්ඩු පෙරළිය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීය.

“මොන පවුලේද ප්‍රශ්න නැත්තේ? 2018 ඔක්තෝම්බර් 26 ජනාධිපති මෛත්‍රී තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳෙව්වේ නැහැ. කොහොමහරි දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් මම අහලා බැලුවා එතුමාට එන්න කිව්වද ආරක්ෂක කවුන්සිලයට කියලා. ඔහුට එන්න කියලා දන්වලා තිබ්බෙත් නැහැ ” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමට තමා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කළත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගෙන පක්ෂග්‍රාහී වූ බවත්, මාදුළුවාවේ සෝභිත හිමි පවා ඊට දොස් පැවරූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ක‍ළේය.

එහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, “ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට හේතු වූයේ ඔබ ඔය කියන සිදුවීමද, නැතහොත් එක්සත් ජාතික පක්ෂය එවකට ජනාධිපතිධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසි සහයෝගය ලබා නොදීමද?” යනුවෙන් පෙරළා විමසීය.

“හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොඳ ඡන්ද පදනමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් තිබුණේ නැහැ. මමයි එතුමාට අනිත් පාර්ශ්වවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමියත් ප්‍රශ්න අහන්නේ ඒ පැත්තෙම ඉඳන්. ඉන්න, ඒ කතා ඔක්කෝම දවසක මම සම්පූර්ණෙන් පොතක ලියන්නම්” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

මෙම අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා යම් සෞඛ්‍ය අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද දිනට අවසන් කර වෙනත් දිනයක් ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

ඒහිදී කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම අද දිනට අත්හිටුවූ අතර නැවතත් ඔක්තෝබර් 13 වැනි දින සාක්ෂි ලබාදීම සදහා පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 11.30ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියේය.

Related posts

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday

ආබාධිත රණවිරුවන්ට දුන් “යහපාලන ගුටි උපහාරය“ ගැන ඥාණසාර හිමි බරණැස සිටි කියපු දේ (Video)

colombotoday

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

colombotoday