අපි සියලූ දෙනා එකතුවී ආප්පයක් පිච්චුවා. එයින් අපි බලාපොරොත්තු වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දූෂණය ගැන විභාග කිරීම, සංවර්ධනය හා සංහිඳියාව. නමුත් ඒක වුණේ නෑ යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය කොළඹ ගාලූ මුවදොර හෝටලයේ පෙරේදා (5 දා) සංවිධානය කර තිබූ විවෘත සංවාද අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
මේ කතා කරන්නේ බිත්තර ආප්ප පුච්චන තාච්චියයි. අපි සියලූ දෙනාම එකතුවී ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දූෂණය ගැන විභාග කිරීම, සංවර්ධනය හා සංහිඳියාව ඒවා ඉටුවුණේ නෑ.
ඔක්තෝබර් 26 වැනිදා ඇතිවූ සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙක් මවිතයට පත්වුණා. අපි ඡුන්දය දී පත්කර ගත්ත ජනාධිපතිවරයා මෙවැනි වැඩක් කරන්නේ කෙසේද කියා බොහෝ දෙනෙක් කල්පනා කළා.
2015 දී අපි මේ ගමන ආරම්භ කළේ යහපත් සමාජයක් ඇති කිරීම සඳහායි. ඔබට යහතින් ජීවත් විය හැකි සමාජයක් ඇති කිරීමටයි. ඒ මාවතේ අපි ගමන් කළා. එහි අපේ අඩුපාඩුකම් තිබුණා. අපිට ඇතැම් දේ ඉටුකිරීමට නොහැකි වුණා. ඔබ අපට දොස් කිව්වා. එලෙස ඔබ අපිට දොස් කිව්වේ පැරණි ක‍්‍රමයට ගමන් කරන්න නොවෙයි. ඔබ අපේක්ෂා කළ අනාගතයට ගමන් කිරීමටයි. ඔබ බලාපොරොත්තු වූ ඒ අනාගතය ගොඩනැඟිය යුතුයි.
ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් පියවර නිසා ඇතැම් අය සිතුවා එතැනින් සියල්ලම අවසන් කියා. මා අගමැති ධුරයට පත්ව ඒ මුළු කාලය පුරාවටම ? දෙකක් පමණක් අරලියගහ මැඳුරේ ගතකර ඇති නිසා එදින රැය අරලියගහ මන්දිරයේ ගත කළ යුතු යැයි මා කල්පනා කළා.
එලෙස අරලියගහ මන්දිරයේ රැය පහන්කර උදෑසන වන විට විශාල ජනකායක් එහි පැමිණ සිටියා. ඔබ මේ සටන අත්හරින්න ලෑස්ති වුණේ නෑ. ඔබ සටන ඉදිරියට ගෙන ගියා. සමාජ මාධ්‍ය ජාලා මගින් කළු මාධ්‍ය පරාජය කිරීමට හැකිවන පරිදි පුළුල් ව්‍යාපාරයක් ආරම්භ කළා. එමගින් ඔබේ හඬ එළියට ආවා. ඒ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ එක් පක්ෂයක් වෙනුවෙන්වත් නොවෙයි. ඔබ එය කළේ ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර රට දියුණු කිරීමට බව අප පිළිගත යුතුයි. ඔබේ ඒ බලාපොරොත්තු සඵල කිරීම සඳහා ඔබ සමග ඉදිරියට යෑමට අප සූදානම් බව කිව යුතුයි.
මේ සිද්ධියෙන් පසු සියලූ දෙනාගෙන් මා විමසා සිටියා මා නැවත ගෙදරට යන්නද කියා. නමුත් ඒ හැමෝම කියා සිටියේ ඔබතුමා ගෙදර නොගිහින් මේ සටන අවසන් වනතෙක් අප සමග ඉදිරියට යා යුතුයි කියා. එවැනි ශක්තියක් අපේ ජනතාව තුළ තිබෙනවා. විශාල පිරිස් අපේ රැස්වීම්වලට සහභාගි වුණා. අප සමග සිටින අනෙක් පක්ෂවල අයත් රැස්වීම්වලට සහභාගි වුණා. මේ තුළින් අපට පැහැදිලි වන්නේ ගතවූ අවුරුදු තුන තුළදී අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර තිබෙන බවයි.
මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා අපි අලූත් රාමුවක් ඇති කළා. ව්‍යවස්ථාදායක සභාව නියම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කළා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. එදා ස්වාධීන කොමිෂන් සභා ඇති කරන විට අපේම ඇතැම් අය අපට බලය යෙදවීමට නොහැකි වන බව ප‍්‍රකාශ කළා. නමුත් කථානායකතුමත්, අපිත් ඒ අවස්ථාවේ ප‍්‍රකාශ කළේ රට සහ ජනතාව වෙනුවෙන් මේ ක‍්‍රමවේදය අත්හදා බලමු කියායි.
ඕනෑම ආණ්ඩුවක බලයට සීමා තිබිය යුතුයි. ඇමෙරිකාවේ ජනාධිපතිතුමාට හිමිව තිබෙන බලතලවලත්, සීමා තිබෙනවා. අපට සීමා නැතිව ඉදිරියට යන්න බැහැ. අප එය ඇති කළ යුතුයි. මේ රටේ පොලිස්පති, නීතිපති, විනිශ්චයකාරවරු පත් කිරීමට අපි නිසි ක‍්‍රමවේදයක් ස්ථාපිත කළා.
2015 ට පෙර මේ රටේ අධිකරණය දෝෂාභියෝගයට ලක් කළා. එමගින් බොහෝ දේ ඉවත් කළා. දිනපතා ජංගම දුරකථනයෙන් කතාකර මේ නඩුව ගැන මොකක්ද කරන්නේ කියා විමසනවා. එලෙස පැවති අධිකරණය අපි ස්වාධීන කළා. 2015 පසු මම හෝ මගේ එක් ඇමැතිවරයෙක්වත් කිසිම විනිශ්චයකාරවරයෙකුට කතාකර බලපෑම් කර නැහැ. ඒ ගැන මා ආඩම්බර වන බව කිව යුතුයි.
අපිට විරුද්ධ නඩු තීන්දු දෙනවා නම් ඒ නඩු තීන්දු සඳහා අභියාචනා කළ හැකි නීතියක් රටේ තිබෙනවා. ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ද අපේ අදහස් ප‍්‍රකාශ කළ හැකියි. එවැනි පසුබිමක කවුරුවත් අධිකරණයට බලපෑම් කළ යුතු නැහැ. මේ ශක්තිය නිසා අධිකරණය පොලිසිය වැනි ආයතන සියල්ලම අද ස්වාධීනව ක‍්‍රියා කරනවා. මේ ආයතන තවත් ශක්තිමත් කළ යුතුයි.
කුමක් ද මෙහි තිබෙන ප‍්‍රශ්නය. මහානායක ස්වාමීන් වහන්සේගේ වැඩකටයුත්ත විහාරාධිපති ස්වාමීන් වහන්සේ කරන්න යනවා කියා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ ප‍්‍රකාශ කළා. නමුත් මා එතුමාට මතක් කරන්නේ මේක මහානායක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රශ්නයක්වත්, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප‍්‍රශ්නයක්වත් නොවෙයි. මෙහි තිබෙන්නේ විනය පිටකයේ ප‍්‍රශ්නයක්. විනය අනුව වැඩකරනවාද නැද්ද කියන එකයි.
අපිට ලැබුණ වරමට අනුව යමින් අපි ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කරමින් ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාවට යටත් කළා. මහානායක ස්වාමීන් වහන්සේ විනය පිටකයෙන් පිට වැඩ කරන්නේ නැහැ. නව සංශෝධනය මගින් අපි ජනාධිපතිව පාර්ලිමේන්තුවට යටත් කළා. මහානායක ස්වාමීන් වහන්සේ කාරක සභාවෙන් පිට වැඩකරන්නේ නැහැ. දැන් විනය පිටකයත් ඉරා දමලා. කාරක සභාවත් පැත්තකට දාලා ක‍්‍රියා කිරීම තමා මේ සිද්ධ වී තිබෙන්නේ. අපට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඔබේ අයිතිය ආරක්ෂා කර දීමටයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා අගමැති වශයෙන් පත්කරගෙන ඔහුට ආණ්ඩුව ගෙන යෑමට අවස්ථාව දිය යුතුයි. ඒ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ සභිකයින් 225 දෙනාගෙන් 2/3 එකඟනම් ඡුන්දයකට යා හැකියි. ඒ අනුව අපි හැමෝම ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාවට අනුව වැඩකරන ලෙසයි.
පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම එක මතයකට පැමිණ ඉල්ලූවත් අගමැතිකම රනිල්ට නොදෙන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශකර තිබෙනවා. එය මගේ ප‍්‍රශ්ණයක් නොවෙයි. එය ජනාධිපතිවරයාගේ ප‍්‍රශ්ණයක්. පාර්ලිමේන්තුවට පයින් ගසා මන්තී‍්‍රවරු 225 ට ඇහුම්කන් නොදී, ව්‍යවස්ථාවට පටහැනිව යෑමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා.
හැම විටම රටක් ව්‍යවස්ථාවට අනුව වැඩ කටයුතු කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව ක‍්‍රියා කළ යුතුයි. අපි සැම විටම ක‍්‍රියා කරන්නේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුවයි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් අපි තවත් ශක්තිමත් කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය විසින් අගමැති තෝරා පත්කර ගත්තා පමණක් නොව ඒ අගමැතිවරයා විසින් ඇමැති මණ්ඩලයද නම් කරනවා. 1978 ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩලය නම් කිරීමේ බලය තිබුණේ ජනාධිපතිවරයා සතුවයි. ඒ කාර්යය ද දැන් අගමැතිවරයා යටතට පත්කර තිබෙනවා.
මේ අනුව අද පාර්ලිමේන්තුවට අගමැතිවරයා තේරීමේ බලයත්, මුදල් බලයත් හිමිව තිබෙනවා. ඒ ක‍්‍රමවේද දෙක ඔස්සේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් ශක්තිමත් වුණා. අද රට පාලනය කරන්නේ විධායක ජනාධිපති නොවෙයි. රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය. ආණ්ඩුව මෙහෙයවන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණය අනුවයි. එවැනි පසුබිමක පාර්ලිමේන්තුවට ඇහුන්කන් නොදී යන්නේ කෙසේද? මම ව්‍යවස්ථාව පිළිපදින්නේ නැහැ. මට පාර්ලිමේන්තුව උවමනා නැහැ කියා ජනාධිපතිවරයා දැන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා ගත් මේ ක‍්‍රියාවට පාර්ලිමේන්තුව යටවී නැහැ. අපේ ප‍්‍රතිචාරය අප ලබාදී තිබෙනවා. ඊනියා අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවේ දී අප විශ්වාසභංග යෝජනාවක් සම්මත කළා. දැන් මුදල් වියදම් කිරීමට හැකියාවක් නැහැ. මේ තත්ත්වය මත දෙසැම්බර් මාසයෙන් පසු ආණ්ඩුව ගෙනියන්නේ කෙසේද? තවදුරටත් මේ අයට ආණ්ඩුව ගෙනියන්න බැහැ.
අපි ඇතිකර තිබෙන ක‍්‍රමවේදයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කණ්ඩායම ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් නීති හා මුදල් පණත් සම්මත කර ගත යුතුයි. අපි ඔක්තෝබර් 25 දින මුදල් පනතක් සම්මත කර ගත්තා. අද තියෙන මේ ඊනියා ආණ්ඩුවට එය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ තිබෙන ඒ බලය කථානායකතුමා ආරක්ෂා කළා. එතුමගේ ක‍්‍රියාකලාපය අප අගය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ අදහස් ප‍්‍රකාශ කිරීම හා ඒ අයිතිය ආරක්ෂා කිරීම කථානායකතුමාගේ යුතුකමක් වෙනවා. ඒ කාර්ය එතුමා නිසියාකාරව ඉටු කළා.
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ සටන කිසිදු බලවේගයකට යට කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. එය ශක්තිමත්ව අප ඉදිරියට ගෙන යනවා. නමුත් එතැනින් මේ සටන නිමකරන්නේ නැහැ. මේ සටන පුද්ගලයෙක් වෙනුවෙන්වත්, පක්ෂයක් වෙනුවෙන්වත් ආණ්ඩුවක් වෙනුවෙන්වත් නොව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්.
පසුගිය කාලයේදී මේ ඊනියා ආණ්ඩුවේ කණ්ඩායම පාර්ලිමේන්තුවට නිග‍්‍රහ වන ආකාරයට හැසිරුණ අයුරු අප පමණක් නොව මුළු ලෝකයම දුටුවා. මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් තැබිය හැකිද කියා අද ඡුන්ද දායකයන් අපෙන් විමසා සිටිනවා. මීට වඩා හොඳ පාර්ලිමේන්තුවක් හා හොඳ හැසිරීමක් අප බලාපොරොත්තු වෙනවා යැයි ඔවුන් ප‍්‍රකාශ කරනවා. ඡුන්ද දායකයන්ගේ මේ අදහස් අප පිළිගත යුතුයි.
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ හැකි පාර්ලිමේන්තුවක් අප පත්කර ගැනීමට ක‍්‍රියා කළ යුතුයි. ඒ අනුව එය ජනමත විචාරණයකින් අනුමත කරමු යැයි මා ප‍්‍රකාශ කරනවා. මේ නිසා අපේ ඉදිරි ගමන අද තිබෙන කුමන්ත‍්‍රණය පරාජය කිරීමත් පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමද අරමුණු කර ගත යුතුයි.
ජනාධිපතිතුමා තමන්ට පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියා ප‍්‍රකාශ කළා. ඊනියා අගමැති මැර බලයෙන් රැඳී සිටීමට උත්සාහ කළා. එක තහනම් නියෝගයකින් ඒ කාඞ් බෝඞ් මාලිගාව කඩන් වැටුණා.
ජනාධිපතිවරයා ගෙන තිබෙන ක‍්‍රියා මාර්ගවලට එරෙහිව මේ වනවිට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. අපි සියලූ දෙනා එක්ව දියත් කළ සාමූහික ක‍්‍රියා මාර්ගය නිසා මේ අනීතික වැඩ පිළිවෙල තාවකාලිකව නවතා තිබෙනවා. අපි තව තල්ලූවක් දී මෙය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුයි. ඒ සඳහා අප සියලූදෙනා එක්ව විශාල ජනබල මෙහෙයුමක් දියත් කළ යුතුයි. ඒ සඳහා ඔබේ ශක්තිය අවශ්‍යයි.
මගේ කතාව අවසන් කිරීමට පෙර තවත් වචන කිහිපයක් ඔබ හමුවේ තැබිය යුතුය කියා මා කල්පනා කළා. මොකක්ද ඊයේ (04 දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය පැවැත්වුණා. ඒ සම්මේලනය කැඳවා තිබුණත් එහි කාලය වෙන් වූයේ පක්ෂය ගැන කතා කිරීමට හෝ දිවංගත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ගැන කතා කරන්නවත් නොවෙයි. එහිදී කතා කළේ රනිල් ක‍්‍රමසිංහ ගැනයි. මා එක දිනයකවත් ඔය පක්ෂයේ සාමාජිකත්වය අරන් නැහැ.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මේ සම්මේලනයේදී මම දේශපාලන කරුමයක් කියා කිව්වා. මට දොස් කිව්වා. බැණ වැදුනා. අවලාද නැගුවා. මට එල්ල කළ ඒ සියලූ චෝදනා මා ප‍්‍රතික්ෂේප කරනවා. මං මගේ සංස්කෘතිය අනුව ඊට පිළිතුරක් දීමට කැමතියි. අනෙක් අයගේ සංස්කෘතිය ගැන මට කියන්න බැහැ.
මගේ සංස්කෘතියට අනුව මා පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත‍්‍රයෙනුයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ සිටි කාලයක ආකෝෂ පරිබ‍්‍රාජක බමුණා ගොස් බුදුන් වහන්සේ මුණ ගැසුණා. ඔහු බුදුරජාණන් වහන්සේට බැන්නා. අවලාද නැගුවා. දොස් කිව්වා. ඒ සියල්ලටම ඇහුම්කන් දී අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බමුණ ඔබට මිත‍්‍රයින් ඉන්නවාද, නෑදෑයින් ඉන්නවාද, දන්න අය ඉන්නවාද කියා ඇසුවා. එහිදී ආකෝෂ බමුණා කියා සිටියේ මට මිත‍්‍රයින්, නෑදෑයින් හා දන්නා අය සිටින බවයි. ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද, සංග‍්‍රහ කරනවාද කියා බුදුන් වහන්සේ විමසා සිටියා. ඔව් මම එලෙස සංග‍්‍රහ කරනවා කියා ආකෝෂ බමුණා ප‍්‍රකාශ කළා. කව්රුහරි ඒ ආහාර භාර ගන්නේ නැත්නම් අනුභව කරන්නේ නැතිනම් කාටද එය අයිති කියා බුදුන් වහන්සේ විමසා සිටියා. එය මට අයිතියි කියා ආකෝෂ බමුණා ප‍්‍රකාශ කළා.
ඒ අවස්ථාවේ මම දොස් කිව්වේ නෑ. මට දොස් කිව්වා. මා අවලාද කළේ නෑ. මට අවලාද කළා. මා නින්දා කළේ නෑ. මට නින්දා කළා. මේ අවලාද, නින්දා, සියල්ල බමුණා ඔබට භාරයි කියා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. මටත් කියන්න තියෙන්නේ ඒකමයි.
බමුණ..! මට කළ අවලාද, බැණුම්, නිග‍්‍රහ සියල්ල ඔබට භාරයි.