2020 මහ මැතිවරණයට ඉදිරිපත් වී 9 වැනි පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් නියෝජනයක් ලබා ගැනීමට අපේ ජන බල පක්ෂය සමත් විය.
ඒ අනුව සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා නිවේදනය කළේය. ඒ අගෝස්තු 09 දින පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙවර මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එම පක්ෂයෙන් ඥානසාර හිමියන් නාමයෝජනා බාරදුන් අතර තාක්ෂණික දෝෂ හේතුවෙන් එම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය. ඉන් පසු එම පක්ෂයේ එක් සටන් පාඨයක් වූයේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා මුළු රටෙන්ම ඡන්දය දිය හැකි බවයි.
ඒ අනුව අපේ ජනබල පක්ෂය සමස්ත දිවයිනෙන් ඡන්ද 67,758ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත් අතර උතුරු නැගෙනහිර හැර අනෙකුත් බොහෝ ප්‍රදේශවල 5 වැනි ස්ථානයට ඡන්ද හිමි වූ පක්ෂය බවට පත්විය. ඇතැම් ආසනවල දී එක්සත් ජාතික පක්ෂය අභිබවා ඡන්ද ලබා ගැනීමට අපේ ජනබල පක්ෂය සමත් විය.
ඒ අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට තමන් වහන්සේව පත් කළ බවට දක්වමින් අපේ ජන බල පක්ෂයේ මහලේකම්ව ලෙස සිටි ස්වාමීන් වහන්සේ නමක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබූ අතර එය පක්ෂයේ තීරණය නොවන බව පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.
ඒ අනුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණය කර ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා තෝරා ගැනීමටයි. ඒ බව නිල වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ඥානසාර හිමියන් යනු කවුද?
ෆේස්බුක් ආයතනය මගින් මේ වන විටත් ඥානසාර හිමියන්ගේ නම භාවිතා කිරීමට තහනමක් පනවා ඇති බව පැවසෙනවා. ඒ යම් අන්තවාදී පිරිසක් විසින් ඥානසාර හිමි අන්තවාදියෙකු ලෙස ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
පෞද්ගලික තොරතුරු හා අධ්‍යාපනය
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවතගෙන එන්නේ ඇල්පිටියේ ‘ගලගොඩඅත්ත’ නමැති ගමෙනි. 1975 මාර්තු 04 දින සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුතු පවුලක ළාබාලතම දරුවා ලෙස උපත ලබන නුවන්සිරි කුමාර වයස අවුරුදු 11 දී ‘ගලගොඩඅත්තේ ඥානසාර’ යන නමින් පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා. උන්වහන්සේ ගිහි කළ සිය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ යක්කටුව කනිෂ්ඨ විද්‍යාලයෙනි. ඥානසාර හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිය ලබන අතර ඉන්පසුව රාජකීය පණ්ඩිත ගෞරව උපාධිය ද හිමිකරගෙන තිබෙනවා.
දේශපාලනයට පිවිසීම
1994 දී ආරම්භ වූ ජාතික සංඝ සම්මේලනයේ ආරම්භක ලේකම්වරයා වශයෙන් සමාජ ක්‍රියාකාරී භික්ෂුවක් ලෙසින් ක්‍රියාකාරී වූ ඥානසාර හිමි පසුකලෙක එල්ලාවල මේධානන්ද හිමියන් ද සමග ‘ජාතික හෙළ උරුමය’ ට සම්බන්ධ වී තිබෙනවා. පසුව ඥානසාර හිමියන් එම පක්ෂයේ අපේක්ෂකයකු ලෙස 2004 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ඉදිරිපත් වී තිබෙන අතර එකල පාඨලී චම්පික රණවක ද ඔහුගේ කුළුපග මිතුරෙකුව සිට ඇති බව පැවසේ.
එජාපයට දැමූ කොන්දේසිය
හෙළ උරුමය සමග ඇති වූ බව කියන මතගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඉන් ඉවත්ව ඇති ඥානසාර හිමියන් පසුව ‘සිරිකොත’ සමග මනා සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එහිදී එජාප නායකයින් විසින් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු බලවේගය වන ‘එක්සත් භික්ෂු පෙරමුණ’ට නායකත්වය දෙන්නැයි ඥානසාර හිමිගෙන් ඉල්ලීමක් කර ඇත.
එහිදී ඥානසාර හිමියන් විසින් එක්සත් ජාතික පක්ෂ නායකයින්ට ඉදිරිපත් කර ඇති කොන්දේසිය උන්වහන්සේගේ ප්‍රතිපත්ති මනාවට පිළිඹිබු කරයි. උන් වහන්සේ එජාප නායකයින්ට පවසා ඇත්තේ තමන් වහන්සේට එක්සත් භික්ෂු පෙරමුණ ශක්තිමත් කළ හැකි බවත් ඒ සඳහා එක්සත් භික්ෂු පෙරමුණේ පැවිදි නියෝජිතයින් පිරිසකට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්ව කෝටාවක් දිය යුතු බවටත් කොන්දේසි පනවා ඇත. එහෙත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පක්ෂයේ ප්‍රබලයින් ඊට විරුද්ධ වීමත් සමග ඥානසාර හිමියන් එජාපය සමග පැවති සබඳතා සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. බොහෝ දේශපාලනඥයින් පක්ෂ මාරු කර ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්තිවලට අනුගත වන නමුත් ඥානසාර හිමියන් සෑම අවස්ථාවකම උත්සාහ කර ඇත්තේ තමන් සිටින ඕනෑම තැනක් තුළ තම ප්‍රතිපත්ති රෝපණය කිරීමටයි. එසේ කළ නොහැකි වූ කිසිම ස්ථානයක ඥානසාර හිමියන් රැඳි සිට නැති බව උන්වහන්සේගේ අතීත භාවිතාව සාක්ෂි දරයි.
සුමදුර ධර්ම දේශකයෙක්
ඥානසාර හිමියන් ගැන ඇතැම් දෙනා දරන්නේ කර්කෂ භික්ෂුවකට උදාහරණයක් ලෙසයි. නමුත් උන්වහන්සේ ඉතාමත් සුමධූර ලෙස පවත්වන ධර්ම දේශනා පිළිබඳ දන්නේ ඉතාම සුළු පිරිසකි.
සිරගත කිරීම සහ නිදහස් කිරීම
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේ 2018 වසරේ අගෝස්තු මස 8 දිනයි.
එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනාවලට ඥානසාර හිමිට වරදකරු කළේය.
කෙසේ වෙතත් 2019 අප්‍රේල් 21 දින මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරය සමග උන්වහන්සේ මීට පෙර කළ අනාවරණයන් සත්‍ය බවට සමාජ විශ්වාසයක් ගොඩනැගුණි. ඒ සමග ජනතාවගෙන් ලැබුණු විශාල ඉල්ලීම මත 2019 මැයි 23 දින ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේ ය.