Colombo Today Sports News

අලසකම අහලක නැත! කණ්ඩායමට ආයෙත් මහේල ඇවිත්

පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට තවත් දින 14 කි, එනම් සති දෙකකි. තව දින 14 කින් කණ්ඩායම් 16 ක් එකම කුසලානයකට තරග වදින කි‍්‍රකට් පිටියේ වඩාත් අකාර්ෂණය දිනාගෙන ඇති එකී ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වේ. එහි පළමු තරගය 17 වැනිදාය. දෙවැනි දිනයේදී ශී‍්‍ර ලංකාව නැම්බියාවට එරෙහිව තරග වදී.

නැම්බියාවට අමතරව නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමගත් ශී‍්‍ර ලංකාව තරග කළ යුතු වේ. ඒ සුදුසුකම් ලැබීමේ අදියර යටතේය. එය එක් අතකට දෛවෝපගත සිද්ධියකි. දෙවතාවක් පන්දුවාර 20-20 ලෝක කුසලාන අනුශුරයන් බවට පත්වූ ශී‍්‍ර ලංකාව 2014 වසරේදී එහි ශුරයෝ වූහ. දෙවතාවක් එහි ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුව එම තරගාවලියේදී වැඩිම දක්ෂතාවක් පෙන්නුම් කර ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

එවැනි කණ්ඩායමකට 2021 වසරේදී සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ද ඉදිරිපත් වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් වුවත් හැදෙනවා නම් තැන එතැනය. ශී‍්‍ර ලංකාව තරම් දක්ෂතා නොමැති, අත්දැකීම් නොමැති එම කණ්ඩායම් සමග තරග කරන්න සිදුවීම ශී‍්‍ර ලංකාවේ ඉදිරි තරග සඳහා හොඳ දෙයකි.

මුල ඉඳලාම පටන් ගත යුතුයැයි අප බොහෝ වර අසා තිබේ. මේ තරගාවලියට ද දැන් ශී‍්‍ර ලංකාව මුල ඉඳලාම පටන්ගෙන යා යුතුය. අතීත දක්ෂතා මතක් කළ යුතුය. එහෙත් මෑත අතීතය නම් අමතක කළ යුතුය. ශී‍්‍ර ලංකාවට එම ගමන සඳහා මහත් ශක්තියක් දැන් ලැබී ඇත. ඒ මහේලයි. ලෝක කි‍්‍රකට් පිටියේ වඩාත් දක්ෂ උපායමාර්ගික පුහුණුකරුවකු ලෙස සැලකෙන මහේලගේ සේවය ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලැබීම ඔවුන්ට යමක් අලූතින් පටන් ගන්නට හොඳම අවස්ථාව වේ. ඒ බව කිව්වේ අප නොවේ, එසේම අද ඊයේ ද නොවේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ඒ බව කිව්වේ මාස ගණනාවකට උඩදීය.

‘‘ශී‍්‍ර ලංකා කණ්ඩායමට උපදේශකයකු අවශ්‍ය බවට පසුගිය කාලයේ කතාබහට ලක් වුණා. ඒ සඳහා අපි යමකු යවන්නේ නම් ඒ මහේල ජයවර්ධනයි.’’

අරවින්ද එදා කිවූ දේ අද සැබෑ වී ඇත. මහේල එළැඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට සිය එකඟත්වය පළ කළේය. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට යෝධ හස්තයක සහාය ලැබී ඇත. එමතුදු නොව මහේල ශී‍්‍ර ලංකා 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමේ ද පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට එකඟතාවය පළකර ඇත. ඔහු ස්වෙච්ඡාවෙන් මේ කාර්යයන් දෙක සඳහා එකඟ වී ඇත.

එය ශී‍්‍ර ලංකා කණ්ඩායමට මතු නොව නැඟී එන 19 න් පහළ කණ්ඩායමට ද විශාල ශක්තියක් වනු ඇත. 2015 වසරේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදුන් දෙනගමගේ ප‍්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන හෙවත් මහේල ජයවර්ධනට කි‍්‍රකට් පිටියට සමුදුන් වහාම පුහුණු තනතුරකට ආරාධනා ලැබුවෙකි. ඒ කි‍්‍රකට් උපන් දේශය වන එංගලන්තයෙනි. එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී තරග 5-0 ක් ලෙස එක්දින තරගාවලි ජයග‍්‍රහණයක් කරා එදා ශී‍්‍ර ලංකා පිල මෙහෙයවූ නායකයා තම පිතිකරණ උපදේශකයා ලෙස එංගලන්තය එකතු කර ගත්තේ මහේලගේ තරම සහ හැටි ගැන එංගලන්තයට හොඳින් අවබෝධයක් තිබුණු නිසාය. එංගලන්තය 2016 එකී ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය කරා කැඳවාගෙන යෑමට මහේලගේ පිතිකරණ පුහුණුවේ දක්ෂතා ඉවහල් වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලෝක කි‍්‍රකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර 5 වැනි ස්ථානයේ ද, වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර 9 වැනි ස්ථානයේ ද රැඳී සිටින මහේල පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ද වේ.

ඕනෑම කඩුල්ලක් සඳහා වන ලෝක ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඉහළම ලකුණු සබඳතාවය මහේල නමින් ලියැවී තිබේ. එම සබඳතාවයේ ලකුණු වැඩිම ප‍්‍රමාණයක හිමිකරුවා වන මහේල එදා රැස්කළ ලකුණු ගණන 374 කි. එක්දින පිටියේ වැඩිම උඩ පන්දු ලාභියා ද මහේලය. ඔහු නමින් ලියැවුණු වාර්තා තවත් බොහෝය. ඒවා කි‍්‍රකට් වාර්තා පොත්වල ලියැවී තිබේ.

එහෙත් මහේල සතු වු උපායමාර්ගික ඥානය, ස්ථානෝචිත ප‍්‍රඥාව කි‍්‍රකට් පොත්වල සංඛ්‍යාත්මකව කිව නොහැක. තරගයක් කණපිට පෙරළීමට තරම් අපූරු උපක‍්‍රමවලින් පිරිපුන් වූ මහේල ප‍්‍රතිවාදී පිතිකරුවකු සිය උපක‍්‍රමයක ගොදුර වූ විට සිය සුරතින් ඇඟිලි මිටි කර පෙන්නුවේ ‘‘වැඬේ හරි ගියා’’ කියාය. ඔහු තරගයක් ගැන සැලසුම් හැදුවේ කී‍්‍රඩාපිටිය තුළදී මතු නොව ඊට පා තබන්නටත් පෙරය. කි‍්‍රකට් පිටියේ ඉංජිනේරුවරු ලෙස එකල ප‍්‍රකට වූ මහේල පන්දු රකින්නන් ස්ථානගත කිරීමත්, පන්දු යවන්නන් මෙහෙයවූ ආකාරයත්, පිතිකරුවන්ගෙන් වැඩගත් සැටිත්, ප‍්‍රතිවාදීන් කොටු කරගත් හැටිත් වැඩියෙන් දන්නේ ඔහුගේ සාමකාලීනයන් සහ ප‍්‍රතිවාදීන්ය. ඒ ප‍්‍රතිවාදී ලැයිස්තුවේ එකටම සිටි ඉන්දියාව මහේලගේ සේවය තම රටට ලබා ගැනීමට උත්සුක වූ අවස්ථා බොහෝ විය. වත්මන් ලොව කි‍්‍රකට් ප‍්‍රබලයන් වන ඉන්දියාවේ පුහුණුකරු වන රවි ශ‍්‍රාස්ති මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව විශ‍්‍රාම ගන්නේය. ඒ අඩුව පිරවීමට මහේලට ඉන්දියාවෙන් ආරාධනා ලැබිණි. එහෙත් ඔහු ඊට එකඟ වූයේ නැත. එහෙත් මහේලගේ සේවය අයි පී එල් වලට නම් ලැබුණි. ලෝක ප‍්‍රකට ටි‍්‍රලියනපතියෙක් වන මුකේශ් අම්බානි සිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට මහේලව බඳවා ගත්තේය. ඒ එම තනතුරේ එතෙක් වැඩ කළ රිකී පොන්ටින් ඉවත් කරමිනි.

එක්දින ලෝක කුසලාන දෙකක් දිනූ ඔස්ටේ‍්‍රලියා නායක පොන්ටින් වෙනුවට මහේල තෝරා ගැනීමට තරම් අම්බානිට මහේල ගැන විශ්වාසයක් තිබිණි. මහේල ඒ විශ්වාසය තහවුරු කළේ තරගවාර 4 කදී තෙවතාවක් මුම්බායි කණ්ඩායමට ශූරතාවය ලබා දෙමිනි. එමෙන්ම 2019 සහ 2020 වසරවල එක දිගට ශූරතාවය ජය ගනිමින් එවන් දස්කමක් කළ පළමු පුහුණුකරුවා බවට ද මහේල පත් වූවේය.

මහේලගේ මේ දක්ෂතා ලෝක කි‍්‍රකට් විචාරකයන්ගේ මහත් ඇගයුමට ලක් විය. ලෝක කි‍්‍රකට් පිටියට පළමු වරට හඳුන්වා දුන් ‘ද හන්ඩ‍්‍රඞ්’ එනම් පන්දු සියයේ කි‍්‍රකට් තරගාවලියේ සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ද කටයුතු කිරීමට මහේලට පැවරුණි. මහේල එම කාර්යය ද නිම කළේ මංගල පන්දු සියයේ තරගාවලියේ ශූරතාවය දිනූ පුහුණුකරු ලෙසිනි.

ඒ මහේල දැන් සිටින්නේ ශී‍්‍ර ලංකාවට සහාය දීමේ අටියෙනි. ශී‍්‍ර ලංකාව ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වන 18 වැනිදාට දින දෙකකට පෙර ඔහු කණ්ඩායම හා එක්වේ. එදින සිට 23 වැනිදා දක්වා මහේලගේ ඉංජිනේරු මොළයෙන් ශී‍්‍ර ලංකාව ප‍්‍රයෝජන ගත යුතුය. මහේලගේ පුහුණු දක්ෂතා මතින් ඕනෑම කණ්ඩායමක් වැටී සිටි තැනින් නැගිට්ටවිය හැක. ඔහු ඒ දෙය කර ඇත. මුම්බායි ඉන්දියන්ස්ලා සමග මහේල සම්බන්ධ වීමට පෙර වසරේ ඔවුන් තරගාවලිය නිම කර තිබුණේ 5 වැනි කණ්ඩායම ලෙසය. 5 ට වැටී තිබුණු කණ්ඩායමක් 1 ට නැගිට්ට වූ මහේල දෙපාරක් එක දිගට ඔවුන්ට ශූරතාවය ගෙන දීමට පුහුණු කළේය. උපදෙස් දුන්නේය. දැන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තාක්ෂණික කමිටුවේ සභාපති වුව ද අරවින්ද 96 ලෝක කුසලානය දිනූ අවස්ථාවේ ශතකයක් ලබා තරගයේ වීරයා වූ කී‍්‍රඩකයා වේ. මහේල එවැනි ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයේ සහ අවසන් මහා තරගයේ ශතක දෙකක් ලැබූ එකම කී‍්‍රඩකයා වේ. අරවින්ද මහේල ගැන හොඳටම දනී. මහේල එළැඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට සහාය දෙන්න එකඟ වූ විට අරවින්ද පැවසුවේ මෙවැන්නකි.

‘‘කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීමේදී මහේල එක්වෙයි. ඔහු දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්. තරග උපායමාර්ග සැකසීම සඳහා මහේලගේ ප‍්‍රවීණතාවය සහ දැනුම උපයෝගි වෙනවා. තේරීම් කමිටු රැස්වීම්වලට ද මහේලගේ සහභාගිත්වය තිබෙනවා.’’

කණ්ඩායමට දිරි දෙන්නට මහේල පැමිණි මේ ගමන වැඩදායි කර ගැනීම කී‍්‍රඩකයන්ගේ වගකීම වේ. එය මේ අවස්ථාවේදී බැරි නම් 19 න් පහළ කණ්ඩායම සමග හෝ එකතුව මහේල සිදු කරනු ඇත. මන්ද ඔහු සාර්ථක පුහුණුකරුවෙකි. එහෙත් 19 න් පහළ දෙස බලන්නට පෙර මේ එළැඹෙන හෙට දවස ගැන සිතිය යුතුය. සාර්ථක පුහුණුකරුවකු ලෙස ලොව පතළ වී ඇති මහේලගේ කීර්ති නාමයට ද පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිවලදී ශී‍්‍ර ලංකාව ලබාගෙන ඇති ගෞරවයට ද හානි නොකර යහපත් තරගාවලියක ශී‍්‍ර ලංකාව නිරත වනු දැකීම හැමෝටම හොඳය.

කුෂාන් සුබසිංහ

Related posts

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

colombotoday

දිල්රුවන් මුරලිට සමවෙයි.. පළමු පෙළ කඩුළු 800 යි

colombotoday

පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකට

colombotoday