Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව ඔප්පු වුණොත් මට එරෙහිව පියවර ගන්න. | හිටපු ජනපති මෛත්‍රි කොමිසම හමුවේ කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිරගත කිරීම සාධාරණ නොවන බවත් ඔවුන් දෙදෙනා පමණක් මේ ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට අවශ්‍ය නොවන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පිළිගත්තේය.

එසේම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන යම් පරික්ෂණයකදී තමා මේ ගැන දැනුවත්ව සිට එය වළක්වා ගැනීමට පියවර නොගත්තා යැයි ඔප්පු වුවහොත් තමාට එරෙහිව පියවරක් ගැනීම අසාධාරණ නොවන බව ද නීතිඥවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

ඊයේ (25 වැනිදා) හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරියයි.

මෙහිදී නීතිඥවරයා විමසා සිටියේ හිටපු බුද්ධි අධ්‍යක්ෂට අප්‍රේල් 4 වැනිදා වන විට ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබුණ ද 2019 අප්‍රේල් 08 වැනිදා උදෑසන පැවැත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හමුවේදී ඔහු ඔබට එම තොරතුර පිළිබඳ දැනුම් නොදීම බරපතළ රාජකාරි පැහැර හැරීමක් නේද යනුවෙනි.

එයට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රාජකාරිය පැහැර හැරීමක් ලෙස එය කිව නොහැකි බවත් ප්‍රහාරය වළක්වා නොගැනීම සහ ඒ පිළිබඳව තමාට දැනුම් නොදීම පිළිබඳව එක්කෙනකුට පමණක් වගකීම පැවරීමට තමා පැකිළෙන බවත්ය.

එහෙමනම් ඔබ කියන්නේ මේ ප්‍රහාරය වළක්වා නොගැනීමට දඬුවම් කරනවානම් වගකිවයුතු බොහෝ දෙනෙක්ට දඬුවම් කළ යුතුයි කියන එක නේද? එහෙම නම් මේකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි, පොලිස්පති පූජිත් ජයසුන්දරයි විතරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම අසාධාරණයි කියන එක​ නේද යනුවෙන් නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

‘‘ඔව් එහෙම වෙන්නත් පුළුවන්’’ යනුවෙන් සාක්ෂිකරු එයට පිළිතුරු ලබා දුන්නේය.

ඒක අසාධාරණයි කියලා ඔබතුමා පිළිගන්නවානම් මලල්ගොඩ කමිටුවේ වාර්තාව එන්නත් කලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ප්‍රහාරයට තනිව වගකියන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේ හංවඩු ගැහුවේ ඇයි දැයි නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.

එහිදී හිටපු ජනපති කියා සිටියේ කමිටු වාර්තාවයි තමා කරපු ප්‍රකාශයි අතර සම්බන්ධයක් නොමැති බවයි. ප්‍රහාරයෙන් පසු එසේ කළේ පැවැති ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා වූ කරුණු අනුව බවත් පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාට ප්‍රහාරය සම්බන්ධයෙන් දෝෂාරෝපණය නොකරන්නේ විදෙස් ගතවීමට පෙර තමාට මෙවැනි දෙයක් විය හැකි බව කියා තිබූ නිසා බවට සහ ප්‍රහාරය වීමට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදුවූ දින ප්‍රහාරයට පෙරත් මේ ගැන දැනුම් දී තිබූ නිසා බවට මෙන්ම ප්‍රහාරයේ වගකීමෙන් මිදීමට බවට නීතිඥවරයා මෙහිදී යෝජනාවක් කළේය.

එහිදී හිටපු ජනපති ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය. එසේම වැඩිදුරත් කියා සිටියේ මම එහෙම දැනගෙන ගියානම් මම රටින් පැනලා ගියා වෙන්න ඕනේ යනුවෙනි. කිසිම දවසක මම එහෙම දැනගෙන හිටියානම් අවශ්‍ය පියවර නොගෙන පිටවෙලා යන්නේ නැහැ යැයිද හිටපු ජනාධිපතිවරයා කීය.

මධුෂ් ඇල්ලීමේ ප්‍රශංසාව ජනාධිපතිවරයා ලෙස ලබා ගත්තා සේම තමන්ගේ පාලන කාලයේ සිදුවෙන මේ වගේ සිද්ධිවලත් වගකීම ජනාධිපතිවරයා ලෙස ඔබතුමා ලබා ගත යුතු නේදැයි නීතිඥවරයා මෙහිදී විමසන ලදී.

මම එහෙම ප්‍රශංසාව ගන්නේ නැහැ. මට ලැබෙන්නෙම අප්‍රශංසාවනේ යනුවෙන් ප්‍රකාශ කළ හිටපු ජනපති තවදුරටත් පැවසුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස තමාට වගකීමක් ගත නොහැකි බවය.

එහිදී නීතිඥවරයා විමසා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන යම් පරික්ෂණයකදී ජනාධිපතිවරයා මේ ගැන දැනගෙන ඉඳලා වළක්වාගන්න පියවර ගත්තේ නැහැ කියලා ඔප්පු වුණොත් ඔබට එරෙහිව පියවරක් ගැනීම අසාධාරණ නැහැ නේද යනුවෙනි. ඔව් එහෙම ඔප්පු වෙනවානම් අසාධාරණයක් නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස විදේශ කුමන්ත්‍රණයක් ඇති බවද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

මෙය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරනු ලබන්නේ සහරාන් කිසියම් විදේශ කණ්ඩායමකින් මෙහෙය වූ බවට පෙනී යන නිසා බවත් ඔවුන් කව්රුන්ද කො​ෙහන්ද යන්න තමා නොදන්න බවද හිටපු ජනපතිවරයා පැවැසීය.

ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව මෙරටට ඇමරිකාව ඉන්දියාව එංගලන්තය වැනි රටවල් ගණනාවක බුද්ධි විශේෂඥයන් පැමිණ මෙරට බුද්ධි අංශ සමග එක්ව මාස හයකට වැඩි කාලයක් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කළ බවත් සහරාන් පිටුපස සිටියේ කවුද යන්න අදටත් ඔවුන්ට අනාවරණය කර ගැනීමට නොහැකි වීම මහත් ප්‍රශ්නයක් බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

මෙම සංවිධානයේ නායකයා සහරාන් නොවන බවටත් කවදාවත් නායකයා ප්‍රහාරයක් සිදු කරමින් මරණයට පත් නොවන බවද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සාක්ෂි දෙමින් පැවසූ බව හිටපු ජනපතිවරයා සඳහන් කළ අතර පිපිරීමෙන් දින දෙකක් යාමට පෙර අයි එස් ප්‍රහාරයක් බවට අයි එස් නායකයා පිළිගත් බවද ඔහු සඳහන් කළේය.

Related posts

“මං එකෙකුටවත් බය නෑ… මුං හිවල්ලු ටිකක්”

Admin

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday

සීවලී හිමි සොයා මැරයන් පන්සලට කඩා පනිති. සාමනේර හිමිනමකට දරුණු ලෙස පහරදී පලා යයි

colombotoday

9 හැවිරිදි දියණියක් අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කරයි – 6ක් කූඩුවට

Admin

පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කරයි

colombotoday