Colombo Today Local News

රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය අද (19) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය. 

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව ඊයේ (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කළේය.

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලද්දේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න (27) සහ දුලානි චාමිකා (24) විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂයේ ස්ථානයක මෙම චන්ද්‍රකාව ස්ථානගත කිරීමට නියමිතය. එම චන්ද්‍රිකාව ඊයේ (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරුණි. අභ්‍යාවකාශ යානය ගමන් කරන ලද්දේ ‘අන්තරෙස්’ රොකට්ටුව මගිනි. 

මෙම චන්ද්‍රිකාව මගින් අරමුණු පහක් ඉටු කරගැනීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාව සහ ඒ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුලය’ නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා භාවිතයේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය අධ්‍යයනය කිරීම එම අරමුණු පහය. ඉහත කී ‘ලෝරා මොඩියුල්’ නමැති මෘදුකාංගය දත්ත බාගත කිරීම (ඩවුන්ලෝඞ්) සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදාගැනීමට නියමිතය. 

ඝන සෙන්ටිමීටර් 1000 ක විශාලත්වයෙන් සහ කිලෝග්‍රෑම් 1.05 බරින් යුතු මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එකහමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා පවතිනු ඇතැයි පැවසේ.  

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ වෙති. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාවයි.  ජපානයේ ක්‍යුෂු තාක්ෂණය ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලදි.

තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිය ලබාගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. තරිඳු දයාරත්න මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සහ රඹුක්කන, පින්නවල ජාතික විද්‍යාලයේ ආදි සිසුවෙකි. තරිඳු තමන් ඉගෙන ගත් පින්නවල ජාතික විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් ‘රාවණා 1’ චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීම ද විශේෂත්වයකි.  

දුලානි චාමිකා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක වන අතර ඇය ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම මේ වනවිට පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියකි. 

දුලානිගේ පියා හේලීස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරුවකු වන අතර ඇගේ මව ගෘහණියකි. තරිඳුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නැති අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මව රසකැවිලි වෙළෙන්දියකි. 

ada.lk

Related posts

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday