Colombo Today Local News

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

” අද දේශපාලනය ලෙහෙසි ගමනක් නෙමෙයි.  සමහරු ඇති දේවල් නැති කරනවා. නැති දේවල් ඇති කරනවා. ඒ වගේ බැරෑරුම් ගමනක් යන දේශපාලඥයෙක් තමයි මම. මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි. මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසදනවා. ඒක විශ්වකර්මයක් නෙමෙයි. තාවකාලිකව අප සිදුකරන ඒ දේ, වසර  එකහමාරකින් ස්ථිරව ඉටුකරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි පාර්ලිමේන්තුවේදි හෙලිදරව් කළා. ජනාධිපති, අගමැතිගේ අවසරය පරිදි ඉදිරියේදී එක මිනිත්තුවක්වත් විදුලිය ඇණහිටීමක් නැතිවන ආකාරයෙන් කටයුතු කරන්නයි අපි බලාපොරොත්තු වෙනවා.  අපේ අද පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි ප්‍රධානම කරුණ තමයි මේ පවතින වියලි කාලගුණික තත්ත්වය. ඒ වගේම හරි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීමත් මෙයට බලපාන හේතුවක්. 2010 ඉදලා එකම මෙගාවොට් එකක්වත් අපේ ජාලයට එකතු වෙලා නැහැ. මේ ක්‍රමය අපි වෙනස් කල යුතුයි. මේ සදහා විදුලිය පිරිමැසීමත් අත්‍යාවශ්‍යයි. අපි රු. 23.00 කට නිපදවන ඒකකයක් දෙන්නේ රු. 16.00 කට. රු.7.00 ක පරතරයක් තියෙනවා. මේ පරතරයේ අලාභය වර්ෂයකට බිලියන 80 ක් වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් මෙම අලාභයන් වෙනුවෙන් 6% ක් වගේ ප්‍රමාණයක් වෙන්කරනවා. මේ තත්ත්වය දැන් දරාගන්න බැරි මට්ටමට ඇවිත් තිබෙන්නේ. නමුත් මම වගකීමෙන් කියන්න කැමතියි,  සිංහල දෙමළ  අළුත් අවුරුද්දට පමණක් නෙමෙයි ඉන් පසුවත් විදුලි කප්පාදුව නතර කරනවා” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අපි නිදහස ලබලා වසර 71 ක් වෙනවා. නමුත් මේ නිදහස අප අර්ථාන්විතව පාවිච්චි කරලා තිබෙනවාද.  එදා ඩී.එස්. සේනානායක මැතිතුමා කිව්වා අපි සුද්දාගෙන් නිදහස ලබාගත්තාට, එකට ගමන්කළේ නැත්නම් මේ ලබාගත් නිදහස විනාශ වෙනවා කියලා. ඉන්පසු 1978 දී අපේ රටට විවෘත ආර්ථිකයක් හදුන්වලා දුන්නා. නමුත් අපේ මේ පුංචි ලංකාවේ ජනතාව අගලක් ඉදිරියට තියලා, අඩි දෙකක් පස්සට ගන්න ක්‍රමයක් තමයි තිබෙන්නේ. මේ රට හදන්න බැරිකමක් නෙමෙයි තියෙන්නේ, අවශ්‍ය නැති කමක්.  අපි එකා සේ එකතු වෙලා  අළුතෙන් හිතන්න අවස්ථාවක් උදාවෙලා තිබෙන්නේ.

අපේ රටේ අද දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නායකයෝ නැහැ. මේක කණගාටුවට කරුණක්. නායකයෝ හිතන්නේ තමාගැන නෙමෙයි රට ගැනයි. ඩී.එස් .සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි අන්න ඒ වගේ අය තමයි මේ රටේ හිටිය සැබෑ නායකයෝ.  නමුත් දැන් අපේ ලංකාවේ දේශපාලන රාමුව වෙලා තිබෙන්නේ අම්මාගෙන්, තාත්තාගෙන් පැවතගෙන එන පවුල් දේශපාලනයක්. සහජ හැකියාවෙන් ඉදිරියට යාමක් අද නැහැ. අපි රැකිරක්ෂා ගැටළුවට විසදුම් සොයන්න අවශ්‍යනම්, අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන මාර්ග සැකසිය යුතුයි. අපේ ආදායම් මාර්ග වැඩි කරනවා කියන්නේ, රජයෙන් ණයට හැමදෙයක්ම දෙන එක නෙමෙයි, දැනුවත්කම වර්ධනය කරන එකයි අවශ්‍ය වන්නේ.  අපේ රටේ ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයට තිබෙන පළපුරුද්ද. අපේ රටේ නිලධාරීන්ට හිතන්නත් බැරි තත්ත්වයක ඉදගෙන කොහොමද පළපුරුද්දක් ගැන හිතන්නේ. මේවගේ දේවල් තමයි අපි නවීකරණය කරන්න ඕන.රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි. අළුතින් සිතිය යුතුය. මේක තමයි ඇතිකළ යුතු වෙනස” යැයි පැවසීය.

Related posts

අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී කුඩු එක්ක මාට්ටු

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday

ජාතික ආරක්ෂාව සාකච්ඡාවට ගැනෙන බුද්ධි සමාලෝචනය රැස්වීමට වුණු දේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පාස්කු කොමිසමේ දී හෙළි කරයි

colombotoday

ඩොලරය තවත් පහළට

Admin