Colombo Today Local News

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේ ජීප් රථ 750ක් මිලදී ගැනීමට එකගතාවය…

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා සහය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ​සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පැවසීය.

20 වන දා පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේදී හමුවෙමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගීතාව හේතුවෙන් දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්වී ඇති බව ය.

ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධන ක්‍රියාවලිය විධිමත් කරලීම උදෙසා ඉන්දියාව ලබා දෙන සහයෝගය පිළිබඳව මෙහිදී වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර සිටියේය. ශ්‍රී ලංකාවේ අපරාධ ප්‍රමාණය පසුගිය වසර දෙක තුළ සියයට 30 කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බවත්, ලැබුණු පැමිණිලි වලින් සියයට 90 කට විසඳුම් ලබා දීමට හැකි වූ බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරඟ පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යානුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්දීය සහය ලබා දීමට ද රාජ්නාත් සිං මහතා එකඟ විය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා සිටියේ ඒ සඳහා ඉන්දියාව අනුගමනය කරන ආරක්‍ෂණ ක්‍රමවේද හා තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක් ශ්‍රී ලංකාවට ද ලබා දෙන ලෙස ය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

Related posts

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday