Colombo Today Local News

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

පසුගිය මාර්තු මස 7 දා සිට 15 වනදා දක්වා පැවැතුණු සමාජ ජාල තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 4.7 ක් බව සමාජ ජාල පරිශීලකයන්ගේ එකමුතුව පවසයි.

සමාජ ජාල තහනම හේතුවෙන් රටට සිදුවූ පාඩුව පිළිබඳ අන්තර්ජාතික සංවිධානයක් වන Netblocks.org හරහා ගණනය කර තිබෙන අතර එය නිල වශයෙන් අන්තර්ජාල සංසදය විසින් නිවේදනය කර ඇති බවත් සමාජ පරිශීලකයන්ගේ එරමුතුව පවසයි.

අන්තර්ජාතික සංවිධානයක් වන Netblocks.org හරහා රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව ගණනය කිරීම සඳහා මූලික කරුණු කිහිපයක් පිළිබඳව සලකා බලා ඇති බවද එම එකමුතුව පවසයි. ඒ අනූව සමාජ ජාල තහනම තුළින් රටේ සංචාරක කර්මාන්තයට හා ව්‍යාපාරික ප්‍රජාවට දැඩි හානියක් සිදු වී ඇති බවත්, රට තුළ පවතින වෙනත් විදේශ විනිමය උපයන ව්‍යාපාර සඳහා දැවැන්ත හානියක් සිදු වී ඇති බවත් සඳහන් කරයි.

එමෙන්ම සාමාන්‍ය දුරකථන මාර්ග භාවිත කිරීමට රටේ දුරකථන සමාගම්වලට ලාභයක් සිදුවුවද, අනෙක් පසට අන්තර්ජාතික දුරකථන පද්ධති භාවිතය සඳහා වූ වියදම් නිසා රටේ විදේශ විනිමයට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත්, ෆේස්බුක්වල සිටින අය සාමාන්‍ය දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගත නොහැකි නිසා ව්‍යාපාරික ප්‍රජාවට දැවැන්ත පාඩුවක් සිදුවී ඇති බවද අන්තර්ජාල සංවිධානය දන්වා ඇත. කෙසේ නමුත් මෙවන් වාතාවරණයක් තුළ පසුගිය මැයි 31 වනදා ‍පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක් ඇසුරෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාවේ සඳහන් තත්ත්වය දිගටම පැවැතියහොත් සමාජ ජාල තහනම් කිරීමට සිදුවන බවත්ය.

එනමුත් ඉංග්‍රීසී භාෂාව, අන්තර්ජාතික නීතිය හා නීතියේ පදනම ප්‍රගුණ නැති ශ්‍රී ලංකා ‍පොලිසියේ නිලධාරීන්ගේ නොහැකියාව හා රටේ අන්තර්ජාල පද්ධතියේ වගවීමේ දෝෂ නිසා රටේ සමාජ ජාල තුළ සිදුවන සිද්ධින් නීතිය හමුවේ පාලනය කර නොහැකි බවට සාක්ෂි සහිතව තම සංගමය හෙළිකර ඇති බවද එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චිරන්ත අමරසිංහ මහතා පැවැසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය ෆේස්බුක් සමාගමෙන් කර ඇති තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන විට 2013 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දියානු රජය ෆේස්බුක් ගිණුම් 67,354 ක තොරතුරු ඉල්ලා ඇති අතර එම කාලයේදීම ශ්‍රී ලංකා රජය තොරතුරු ඉල්ලා ඇත්තේ ගිණුම් 9 ක තොරතුරු පමණක් බවද සමාජ ජාල පරිශීලකයන්ගේ එකමුතුව පැවැසීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ‍පොලිසියේ ‍පොලිස්පතිවරයාගේ වාර්තාව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එකමුතුව හෙළා දකින බවද එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චිරන්ත අමරසිංහ මහතා පැවැසීය.

සමාජ ජාලා තහනම් කිරීම තුළින් ජාතිවාදී ගැටුම් මැඩපැවැත්වූ එකම රට ශ්‍රී ලංකාව බවත්,  විදේශ රටවලින් පවා බලපෑම් එල්ලවෙද්දී ඊට යටත් නොවී තමන් සමාජ ජාලා තහනම් කළ බවත්,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

 

Related posts

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට ගුවන් හමුදා සහය

colombotoday

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල කේරළ ගංඡා අලෙවි කළ කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මිය යයි

Admin