ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම චෛත්‍ය ලෙස සැලකෙන,අනුරාධපුර මහමෙවුනා පුදබිමේ පිහිටි ථූපාරාම චෛත්‍යයේ නම සඳහන්, පැරණිම සෙල් ලිපිය වන ‘පාලුමැකිච්චාව සෙල් ලිපිය’ වසා දමා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර තිබේ.
අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ, කහටගස්දිගිලිය මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 පමණ දුරින් පිහිටි පාලුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය හමුවේ.
පළමුවැනි ගජබා රජු කහවනු 5000 ක් වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථුපාරාමවාසී භික්ෂුන්ගේ සිවුපසය සඳහා පරිත්‍යාග කළ වගයි යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාර වාසී පුරාවිද්‍යා විශේෂවේදී ශාස්ත්‍රපති මැදමහනුවර ධම්මසිරි හිමියෝ පැවසුහ.
මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබා ගන්නා ධන ධාන්‍ය ථුපාරාම භික්ෂුන් වහන්සේලාට සිවුපසය සඳහා ලබාදීම,එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපියෙහි සඳහන්ව පැවතිණි.
අදින් වසර 1800 ක් පමණ පැරණි ගජබාහු රජු – ක්‍රි.ව.114-136 රජු සමයේ කොටා ඇති මෙම සෙල් ලිපිය පේළි හයකින් සමන්විත වන අතර, කොන්ක්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේලි පහක් සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් බැම්මට යට වී තිබේ.
මෙම සෙල් ලිපිය දිගින් අඩි 8 කින් යුක්ත වන අතර අඟල් 4 සිට 7 දක්වා උසකින් යුක්ත වේ.අඟල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ.දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවසූහ.
” මෙම සෙල් ලිපියේ තිබෙනවා ‘පච සහසි කහවණ දරිය’ කියා.පච සහසි කියන්නේ, පන්දහසට.එම මුදල (දරිය යන්නෙන් සඳහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරල තමයි මේ වැව ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ.කහවනු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක් තිබෙනවා. එම ලාංඡනයෙන් කියන්නෙ රිදී කහවනු 5000 ක් වියදම් කළ බවයි.මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්‍රීට් බදාමට යට කරල තිබෙන්නේ.ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්‍ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාලුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ.
මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරාගත්ත රජ කෙනෙකුගේ ශිලා ලිපියක්.තමන්ගෙ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේරගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි.ඒ තරම් ප්‍රබල රටේ ගෞරවය රැකගත්ත රජකෙනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් මේවට වගකිව යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි ඉදිකිරීමකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ලැබිය යුතුමයි.නමුත් එවැනි අවසරයක් ලබාගෙන ඇත්ද යන්න සොයා බැලිය යුතුව තිබෙනවා.අහිංසක මිනිහෙක් පුරාවිද්‍යා රක්ෂිතයකට ගියොත් එහෙම දඩ ගහන්න බලාගෙන ඉන්නෙ.මේ රටේ නිලධාරීන් දුප්පත් මිනිස්සුන්ට දඩ ගහන්න පෝලිම් ගැහිල ඉන්නවා.
අපේ පිටිසර ගම්මානයක අන්ත අසරණ භික්ෂුන් වහන්සේ නමක් යම් ඉදිකිරීමකට අඩියක්දෙකක් හෑරුවොත්උන්නාන්සෙ කුදලාගෙන ගිහින් හිරේ දාන්න බලාගෙන ඉන්නෙ.එහෙව් රටක මේ වගේ ජාතික අපරාධයක් සිදුකිරීම පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඊට සම්බන්ධආයතන මේ විනාශයට වගකිව යුතුයි වගේම යළිත් මෙම සෙල් ලිපිය යථා පරිදී මතු කිරීමට කටයුතු කිරීම වගේම මෙවැනි විනාශයන් යළිත් දිනක සිදු නොවීමට වගබලා ගත යුතුයි”
අනුරාධපුර බි.ජි චතුරංග