Colombo Today Local NewsTop Stories

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

සති කිහිපයක් තිස්සේ මාධ්‍ය විසින් නෑවූ සහ ආණ්ඩුව විසින් හෑවූ වන සත්ව සංගණනය හෙවත් “ඊනියා රිලා සංගණනය” අවසන් වී තිබේ.

එය කොතෙක් දුරට සාර්ථකද යන කරුණ පිළිබඳ නිගමනයකට එළඹීමට තරම් නිශ්චිත තොරතුරු මේ ලිපිය ලියන මොහොත වන විටත් නිකුත් වී නොමැත.

කෙසේ වෙතත්, රජයේ පසුගිය සමය පුරාම බරපතල විවේචන එල්ල වූ රජයේ මෙම වැඩපිළිවෙල පිළිබඳව මධ්‍යස්ථ කරුණු විමසා බැලීමක් සිදු කළ යුතු බව Colombo Today අපි සිතුවෙමු.

මේ පළකරනු ලබන්නේ ඒ පිළිබඳ වූ විවේචනාත්මක සහ විමර්ශනාත්මක කරුණු අනාවරණයකි.

“සංගණනය”ක් යනු කුමක්ද?

පළමුව “සංගණනය” ක් යනු කුමක්දැයි අවබෝධ කරගැනීම ඉතා වැදගත්‍ ය.

පරිසර විද්‍යාව හෝ වනජීවී විද්‍යාවට අනුව සංගණනයක් යනු යම්කිසි විශේෂයකට අයත් සතුන් සියල්ල තනි තනි වශයෙන් ගණනය කිරීමය (head count).

වන සතුන් සඳහා සිදුකළ එවැනි සංගණන වලට ලෝකයේ ඇතැම් රටවලින් නිදසුන් සැපයිය හැකි’මුත් සාර්ථකව අවසන් කළ එවැනි ‘සංගණන’ විරලය.

ලෝකයේ ඇතැම් රටවල සිදුකෙරෙන මුහුදු පක්ෂීන් සංගණන එලෙස යම්තාක් දුරට සාර්ථක ප්‍රථිඵල ලැබූ අවස්ථාවන්ගෙන් එකකි. මන්ද එම වර්ගයට අයත් සියලු සතුන් වසරේ නිශ්චිත කාලයක් තුළ ආසන්න මුහුදුබඩ ගල්තලාවන්හි ලැගීමට හුරු වී ඇති නිසාවෙනි. එවැනි කාලවල විවිධ දියුණු ක්‍රමවේද හරහා එම පක්ෂීන් සංගණනයට ලක්කිරීම සිදුකෙරේ.

මෙවැනි උත්සාහයන් ලංකාවේද අත්හදා බැලූ අවස්ථාවන් ඕනෑ තරම් ය. මෑතකදී සිදු කළ අලි ‘සංගණනය’ ද එවැන්නකි.

අලි ඇතුන් වතුර බීමට පැමිණෙන මංකඩවල් ආශ්‍රිතව සිදුකළ එම ගණනය කිරීම්, වඩාත් නිරවද්‍යව අලි-ඇතුන් ඇස්තමේන්තු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

එබැවින් වනසතුන් සංඛ්‍යාත්මකව ගණනය කිරීම සංගණනයකට වඩා ඇස්තමේන්තුගත (estimate) කිරීමක් ලෙස වඩාත් නිරවද්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය.

මන්ද සත්‍ය වශයෙන්ම මෙහිදී සිදු වන්නේ කිසියම් සාම්පල ප්‍රදේශ කිහිපයක සිටින, කිසියම් වර්ගයක සතුන් පමණක් ගණන් කර මුළු ප්‍රදේශය සඳහා අගය ගණනය කිරීම බැවිනි.

මෙය අද දිනයේ ක්‍රියාත්මක කළ රිලවුන් (Toque macaques) සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගැනීමේදී ඉතා දැඩි ලෙස සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයකි.

එනම්, මෙම ක්‍රියාවලිය පළපුරුදු නිළධාරී කණ්ඩායම් විසින් විධිමත් ලෙස පැවැත්විය යුත්තක් බැවිනි.

රිලවුන් සාමාන්‍යයෙන් රංචු වශයෙන් සැරිසරන සත්ව කාණ්ඩයක් වුවත් නිශ්චිත කාලසීමාවක් තුළ ඔවුන් ගණනය කිරීම අභියෝගයකි. එකම සතුන් නැවත නැවත ගණනය වීම, අදාළ කාලය තුළ අගයන් සටහන් කරගැනීම, යන “මේවා ප්‍රායෝගික ද” යන ප්‍රශ්නාර්ථය ඉතිරි කරන සියලු අභියෝග අප අභිමුඛ ය.

තවද මෙහිදී රිලවුන් පමණක් නොව අළු වඳුරන් (හැලි වඳුරන්), මොණරුන් සහ දඬුලේනුන් යන වගාවන්ට හානි කරන සත්ව කාණ්ඩ කිහිපයක්ම ගණනයට ලක්වන බැවින් මෙම සතුන්, විශේෂයෙන් අළු වඳුරන් නිවැරදිව හඳුනන නිළධාරින් මේ සඳහා යොමුකළ යුතුය.

එසේ බලන කල ‘රිලා’ සංගණනය පොදුවේ සත්ව සංගණනයකට මාරුවිය යුතුය.

මෙය හුදෙක් වගාවට, මිනිසුන්ට හා ආර්ථිකයට හානිදායක සතුන් පාලනය කිරීමක්ම නොව ජෛව විවිධත්වයේ අසමතුලිතතා හඳුනා ගන්නා මෙහෙයුමක් සේ සැලකීම වඩා වැදගත් වනු ඇත.

විශේෂඥ මතයට අනුව මේ සියලු දත්ත වල නිරවද්‍යතාව නිරීක්ෂකයන්ගේ පෙනීම සහ කැපවීම මත හුදෙක්ම රඳාපවතින්නකි.

එක් අතකට දැනටමත් ලංකාවේ ආර්ථිකයට රුපියල් මිලියන 6638 කට නොඅඩු පාඩු සිදුවී තිබෙන මෙම ගැටලුව හමුවේ ප්‍රායෝගිකත්වය පසෙකලා අත්හදා බැලිය හැකි සියලු ක්‍රමවේද වෙත යොමුවීමද අරුමයක් නොවේ.

කෙසේ වුවද, සත්ව සුභසාධනය හා යථාර්ථය යන අන්ත දෙකෙහි දෝලනය වන මෙම අර්බුදකාරී තත්ත්වය අදින් පසු කුමන දිශාවකට හැරේවිදැයි යන්න අවිනිශ්චිතය.

ලියමන – Lima
පූර්ව සටහන – Chalana

Related posts

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

යහපාලන ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව ජනපති හොයාගනී

colombotoday