Colombo Today Local News

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න. යල කන්න මඟ හරින්න එපා – ජනපති නිලධාරීන්ට කියයි

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධවී පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (30)දින උපදෙස් ලබා දෙන ලදී.

පොහොර හිගය හෝ වෙනයම් හේතු පදනම් කරගෙන යල කන්නයේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිවරයා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථකවී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ, යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (30)පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස්විය යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බවද සඳහන් කළේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වන හෙයින් එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට මෙහිදී තීරණය විය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතු බවයි.

ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බවද
ඔහු කීවේය.

වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකර ලබාදීමටත් තීරණය කෙරිණ.

පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහිද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය.

පසු අස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර ඇති බවත් වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මේ සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතාද කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානිහුද සහභාගී විය.

Related posts

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා ජනපතියි, සියල්ල දැන දැනත් ඔහු ප්‍රහාර වලකන්න කටයුතු කළේ නෑ…

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday