Colombo Today Local News

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

මරණීය දණ්ඩනය නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය (31) අද නියෝග කළේ ය.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය නියමකළ මරණ දඩුවම ඉවත් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන් ගිනිඅවි අතැතිව සිටි බවට හෝ වෙඩි තැබීමක් සිදුකළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය විත්තිකරුවන් ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය අද නිකුත් කළේ ය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය ඔවුන්ට එරෙහි චෝදනාවන්ගෙන් අද නිදොස් කොට නිදහස් කෙරිණ.

රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කර තිබිණ.

විත්තිකරුවන් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබුණේ, එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

තව ද තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි පෙන්වා දී ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

Related posts

සාෆි ෂිහබ්දීන් ගැන සමාජ ජාලවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – රතන හිමි

colombotoday

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday