World

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

ඊයේ (02)දින සවස වනවිට ලෝකයේ රටවල් 24කින් ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වී තිබේ. එම රටවල් නම් බොට්ස්වානා, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, එක්සත් රාජධානිය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, ඔස්ට්‍රියාව, බ්‍රසීලය, චෙක් ජනරජය, ප්‍රංශය, ජර්මනිය, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය, පෘතුගාලය, ස්වීඩනය, කැනඩාව, ඩෙන්මාර්කය හා ඇමරිකාවය.

ඇමරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. මෙම ආසාදිතයා එන්නත් මාත්‍ර දෙකම ලබා සිටි කෙනෙකි. පසුගියදා ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වී තිබූ අතර 22 වැනිදා නැවත ඇමරිකාවට පැමිණ තිබිණි. මෙම තත්ත්වය තුළ සෞඛ්‍යාරක්‍ෂක පියවර තවදුරටත් දැඩි කිරීමට ඇමරිකා රජය කටයුතු කරමින් සිටී. රටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් පරීක්‍ෂාවන්ට ලක් කිරීමේ කටයුතු වඩාත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද ධවල මන්දිරය පවසා තිබේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමරිකාවේ ප්‍රධාන පෙලේ වසංගතවේදියකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසා තිබුණේ මෙම ප්‍රභේදය අනෙක් ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරෙනවාද, බරපතළ රෝග ලක්‍ෂණ ඇති කිරීමට ඊට හැකියාව ඇත්ද, වත්මන් එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය මගහැර යාමට ඊට හැකිද වැනි කාරණා ගැන නිශ්චිතව දැන ගැනීමට සති දෙකකට වැඩි කාලයක් ගත වනු ඇති බවයි.
මේ අතර යුරෝපා කොමිසමේ සභාපතිනිය වන උර්සුලා වොන් ඩර්ලෙයෙන් පවසන්නේ යුරෝපා සංගමයේ රටවල කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවය. වේගයෙන් පැතිරෙන බව පෙනෙන ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව සටන් කිරීමේදී එන්නත්කරණය ප්‍රබල අවියක් බව ඇය පෙන්වා දී තිබේ. ඇය මෙවැනි යෝජනාවක් කරන්නේ යුරෝපයේ රටවල් රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වී ඇති පසුබිමකය. පසුගිය දිනවල මෙම කලාපය තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් තිබිණි. මෙම කලාපයේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ තවමත් එන්නත ලබාගෙන නොමැත.

Related posts

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

ඉතියෝපියාවේ අගනුවර බලය ඇල්ලීමට ටයිග්‍රේ කැරලිකරුවන් ඇතුල් වෙයි

colombotoday

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday