Colombo Today Local News

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

අද (13) රාත්‍රියේ දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී 200 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය සහ යාබඳ ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ හේතුවෙන් නිරිත දිග කොටසේ විශේෂයෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී.

අද උදෑසන 8.30 සිට ප.ව 4.30 දක්වා වු කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 190ක් ලෙසය.

මේ අතර, නැවත දැනුම් දෙනතුරු ගිනිකොන දිග අරාබි  මුහුදු ප්‍රදේශයේ ධිවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම්දෙයි.

අදාළ ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂක ස්ථානයක් කරා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාළ ගංගා ආ‍ශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව අද රාත්‍රි සහ හෙට දින ගංවතුර අවදානමක් පිළිබඳ විමසිල්ලෙන් පසු විය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ කළුතර  දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ඇල්පිටිය, නාගොඩ, නෙලුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අඟලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්ද නුවර, ඉංගිරිය, මතුගම සහ දොඩම්ගොඩ යන ප්‍රදේශවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි

colombotoday

මොරගහකන්දේ ජලය උතුරටත්.. ව්‍යාපෘතියේ කොටසක අයිතිය විග්නේෂ්වරන් ඉල්ලයි !

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

හිටපු අගමැති මහින්දගෙන් නව අගමැති රනිල්ට සුබ පැතුම්

colombotoday

“මිරිහානේ සිදුවීමේදී ජනාධිපතිතුමා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කළේ..”

colombotoday