Colombo Today Local News

නාගදීපෙ හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා, නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි – සම්බන්ධන්

* විග්නේෂ්වරන් එක්‌ක ප්‍රශ්නයක්‌ තියෙනව; හැබැයි බරපතළ නැහැ
* විදේශීය විනිසුරුවන් ඕනේ සැකය දුරු කරන්නයි
* නාගදීපයේ නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි.

දෙමළ දේශපාලන පක්‍ෂවල නායකයන් හා ඊට පහළ තනතුරු දරන අය අතර ද මත ගැටුම් හට ගෙන ඇති බවක්‌ පෙනේ. උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා හා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර යම් ප්‍රමාණයක දේශපාලන ගැටුමක්‌ පවතින බව අපි දනිමු. එසේ වුවද උතුරු පළාත් සභාව අනුමත කරගෙන ඇති ‘නාගදීප’ නම ‘නයනතිව්’ ලෙස වෙනස්‌ කිරීමට අදාළව සම්මත කර ගෙන ඇති යෝජනාව ද සම්බන්ධන් මහතාගේ දැඩි දොaෂ දර්ශනයට ලක්‌ව ඇත.

“අපි කොහොමද කියන්නේ ‘නාගදීප’ නම වෙනස්‌ කරන්න කියලා. එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. අපි උත්සාහ කරන්න ඕනේ අපි සියලු දෙනාම එකට ජීවත් වෙන්නයි. එකම රටක්‌ තුළ අපිට බෙදී වෙන්වෙලා ඉන්න බෑ යෑයි ආර්. සම්බන්ධන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමඟ සංවාදයකට එක්‌ වෙමින් සඳහන් කළේය. අපි සම්බන්ධන් මහතා සමඟÊකරන ලද සංවාදයයි මේ.

ප්‍රශ්නය – එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට අධිකරණයෙන් ඇප දෙන්න කියන ගමන් යුද්ධයේ දී සටන් කළ රණවිරුවන් සිරබාරයට ගන්න හදනවා කියල බොහෝ දෙනෙක්‌ චෝදනා කරනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස මොකක්‌ද?

පිළිතුර – එල්.ටී.ටී.ඊ. සැකකරුවන් කියල අත්අඩංගුවට ගත් දෙමළ තරුණයන් වසර 10 – 15 චෝදනා නැතුව සිරකර ගෙන ඉන්නවා. ඒක සාධාරණ නෑ කියල ඕනෑම කෙනකුට තේරුම් ගන්න පුළුවන්. සමහර අයට චෝදනා ඉදිරිපත් කරල දඬුවම් ලබා දීලත් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්නේ නෑනේ. බොහෝ අයගේ කටඋත්තර හැරෙන්න වෙන දෙයක්‌ නෑ.

දැන් යුද්ධය ඉවරයි. එල්.ටී.ටී.ඊ.ය අද නෑ. ආයුධ සහිත කණ්‌ඩායම් නෑ. අද දෙමළ ජනතාවත් කියන්නේ ඒකීය රටක්‌ තුළ අපි සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම තිබියදී චෝදනා නැතිව ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මේ අය සිරකර ගෙන සිටීම නිසා මේ පවුල්වල අයගේ ජීවිතත් අවුල් වෙලා.

දැන් යුද හමුදාව පිළිබඳව ක්‍රියා කරන ආකාරය ගැන මම කියන්නේ වැරැදි කළ ඉහළ නිලධාරීන්ගෙන් විමසා බලන්න ඕනෑ කියලයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාවට පහර දෙන වෙලාවේ පෙරළා ඔවුන්ට පහරදීම ගැන කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ. නමුත් සාමාන්‍ය ජනතාවට හිරිහැරයක්‌ වෙලා තියෙනවා නම් ඒක ගැන බලන්න ඕනේ.

ප්‍රශ්නය – ජිනීවා යෝජනාවලට අනුව දෙමුහුන් අධිකරණයට විදේශ විනිසුරුවන් යොදා ගත යුතු බව ඔබ සඳහන් කර තිබුණා. විදේශීය විනිසුරුවන් යොදා ගැනීමෙන් ඒක දේශීය යාන්ත්‍රණයක්‌ වෙන්නෙ නෑ නේද?

පිළිතුර – මේ කාරණයේදී අපි මේ දෙපාර්ශ්වයේම විශ්වාසය දිනා ගත හැකි අයුරින් කටයුතු කරන්න ඕනෑ. මේ පැමිණිලි විභාග කරන්න සම්පුqර්ණයෙන් ම විදේශ විsනිසුරුවන් පත් කළොත් ඒක සිංහල ජනතාව පිළිගනීවිද? ඒ අය ඒකට කැමැති නෑ. විදේශ විනිසුරුවන් ගෙන් තමන්ට සාධාරණයක්‌ ඉෂ්ට වෙනවා කියලා ඔවුqන් පිළිගන්නෙ නෑ. අනෙක ඒක පිළිගන්න කියලා කවුරුහරි බලපෑම් කරනවා නම් ඒකත් සාධාරණ නෑ. ඒ වගේම තමයි මේ අධිකරණය සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකා විනිසුරුවන් හිටියොත් දෙමළ ජනතාවට සැකයක්‌ ඇති වෙනවා ඔවුන්ට සාධාරණය ඉෂ්ට වෙන්නෙ නෑ කියලා. එහෙම වුණොත් ඒකීය රටක්‌ තුළ මේ දෙගොල්ල එකතු කරන්න තවත් කාලයක්‌ ගත වෙනවා. ඒ නිසයි දෙපාර්ශ්වයටම සාධාරණයක්‌ ඉටු වෙන්නත් සැකයක්‌ ඇති නොවෙන්නත් මේ අධිකරණයට විදේශ විනිසුරුවන් යොදා ගන්න කියල අපි කියන්නෙ. අපේ අපේක්‍ෂාව ජනතාව බෙදන්න නොවෙයි. මේ ජනතාව එකතු කරන්න ඕනේ. එහෙම කරන්න නම් ඔක්‌කෝටම පිළිගන්න පුළුවන් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබේ පක්‍ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ඉකුත් දා ඔස්‌ටේ්‍රලියාවට ගිහිල්ල විදේශ ඇමැතිනි හමුවෙලා මේ විදේශ විනිසුරුවන් ලබා ගැනීම ගැන කතා කළා කියල මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ ගැන ඔබ යමක්‌ දන්නවද? එහෙම කතා කළේ පක්‍ෂයේ එකඟතාව ඇතිවද?

පිළිතුර – සුමන්තිරන් මන්ත්‍රීතුමා ඔස්‌ටේ්‍රලියාවට ගියේ ඒ ගැන කතා කරන්න නොවෙයි. නමුත් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පිටරටකට ගියහම ඒ රටේ දේශපාලනඥයෝ සමඟ කතා කරන කොට පොදුවේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න වෙනවා. ඒ අයුරින් තමයි සුමන්තිරන් මහතා ඔස්‌ටේ්‍රලියාවේදී කතා කරල තියෙන්නේ. ඒවා නිල වශයෙන් සිදුවන සාකච්ඡා නොවෙයි.

ප්‍රශ්නය – උතුර පළාත් සභාවේදී ‘නාගදීපය’ නයනතිව් කියල වෙනස්‌ කරන්න යෝජනාවක්‌ සම්මත කරගෙන තිබෙනවා. මේ යෝජනාවට ඔබත් එකඟද?

පිළිතුර – මම පසුගියදා නාගදීප පන්සලට ගියා. මේ තියෙන්නේ ඒ හාමුදුරුවෝ මගේ අතේ බැඳපු පිරිත් නූල (අත පෙන්වමින්) මේවා මෝඩ යෝජනා. ඇයි නාගදීපය නම වෙනස්‌ කරන්නේ. අපි හැමදෙනාම එකට ජීවත් වන මේ රටේ නාගදීපය නම වෙනස්‌ කරන්න අවශ්‍ය නෑ. ඒ යෝජනාවට මම විරුද්ධයි. අපි එකතු කරන්න හදන කොට සමහර අය බෙදන්න හදනවා. නයනතිව් කෝවිල වගේම නාගදීපය තියෙන්න ඕනේ.

ප්‍රශ්නය – උතුරේÊමහ ඇමැති විග්නේෂ්වරන් හා ඔබ අතර යම් ප්‍රශ්නයක්‌ තියෙනවා නේද?

පිළිතුර – ප්‍රශ්නයක්‌ නෑ කියල මට බොරු කියන්න වුවමනාවක්‌ නෑ. ප්‍රශ්නයක්‌ තියෙනවා. නමුත් ඒක බරපතළ ප්‍රශ්නයක්‌ නොවෙයි.

විග්නේෂ්වරන් මහතා අපේ පක්‍ෂයෙන් පත් කළ ඒ පළාතේ අපේ ප්‍රධාන අමාත්‍යවරයා. පසුගිය මැතිවරණයේදී එයා අපට උදව් කළේ නෑ කියල පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතරම විවිධ මත පළවෙනවා. පක්‍ෂයක සාමාජිකයෙක්‌ වුණාම එයා පක්‍ෂයේ දේශපාලන කටයුතුවලට උදව් කරන්න ඕනේ. එයා දැන් ‘සුප්‍රිම්කෝට්‌’ ජඡ් (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) නොවෙයිනේ. එයා දැන් අපේ මහ ඇමැති. කොහොම උනත් මම එයත් එක්‌ක මේ ගැන කතා කරන්න තීරණය කරලා තියෙනවා. ළඟදීම කතා කරනවා. එයා හොඳ කෙළින් වැඩ කරන කෙනෙක්‌. ඒ නිසා පක්‍ෂයටත් එයාගෙන් යුතුකම් ඉටු වෙන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබ පාර්ලිමේන්තු විපක්‍ෂ නායක විදියට ඔබේ කාර්යභාරය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

පිළිතුර – ඔව්. මම විපක්‍ෂ නායකගේ කාර්ය සැලකිල්ලෙන් ඉටු කරනවා. ආණ්‌ඩුවෙ වැරදි තැන්වලදී අපි ඒවා පෙන්වා දෙනවා.

ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායම හා ඔබ අතර කටයුතු කෙරෙන්නේ කොහොමද?

පිළිතුර – ඒ අය විපක්‍ෂ කණ්‌ඩායම් හැටියට හිටියා කියලා අපිට ප්‍රශ්නයක්‌ නෑ. මම හැමදාම විපක්‍ෂයේ හිටපු කෙනෙක්‌. ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායමේ ඉන්න බොහෝ දෙනා ආණ්‌ඩුවල හිටපු ඇමැතිකම් දරපු අය. ඒ අය ඇමැති තනතුරු දරන කාලෙත් මම විපක්‍ෂයේ හිටියේ.

ප්‍රශ්නය – ජිනීවා යෝජනා අනුව අධිකරණය පිහිටුවන්නේ කවදාද කියල කියන්න පුළුවන් ද?

පිළිතුර – ඒ ගැන තවම තීරණයක්‌ නෑ. ජනාධිපතිතුමා ඒ ගැන කතා කර ගෙන යනවා. අපි මොනවා කළත් නැවතත් අපේ ජනතාව බෙදන්නෙ නැතිව මේ සියලු දෙනා සහෝදරත්වයෙන් එකතු කරන්න ඕනේ. අපි හැමෝටම මේ රටේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්‌ හදන්න ඕනේ. අපි ඔක්‌කොම ශ්‍රී ලාංකිකයෝ.

ප්‍රශ්නය – ජිනීවා යෝජනාවලට රජය මුලින් එකඟ වෙලා දැන් මේ රටේ පක්‍ෂ නායක සමුළුවලදී ඒවා ගැන කතා කළා කියල ප්‍රයෝජනයක්‌ තියෙනවාද? පක්‍ෂ නායක සමළුවේදී කතා කරලා මුලදී රජය එකඟ වී ඇති කරුණු වෙනස්‌ කරගන්න පුළුවන්ද?

පිළිතුර – මානව හිමිකම කවුන්සලයේදී තීරණයක්‌ ගන්න ඕනෑ නිසා රජය තීරණයක්‌ අරගෙන තිබෙනවා. දැන් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක කිරීමේදී අපි රටක්‌ හැටියට කටයුතු කළ යුත්තේ කෙසේද කියල තමයි පක්‍ෂ නායකයන් සමඟ කතා කරන්නේ. ජනාධිපතිතුමා ඒ ගැන පක්‍ෂ නායකයන්ගේ අදහස්‌ විමසීම හොඳ නෑ හෝ වැඩක්‌ නෑ කියන්න බෑ. පක්‍ෂ නායක සමුළුවේදී කතා කරලා ජිනීවාහිදී එකඟ වූ කරුණු වෙනස්‌ කරන්න බෑ. නමුත් ඒ එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අපි හැමෝටම පිළිගත හැකි ක්‍රමයක්‌ සකස්‌ කර ගන්න පුළුවන්.

සාකච්ඡා කළේ
ජයසූරිය උඩුකුඹුර
එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 

Related posts

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් මැතිසබේ අද විවාදයට

colombotoday

ළමා නිවාසෙක දැරියන් 18ක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට !

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

(Video) “මිනිස්සුන්ට සල්ලි දීල ඉන්දියාවට විරුද්ධව උද්ඝෝෂණ කරාට වැඩක් වෙන්නේ නෑ“ – අගමැති

colombotoday

නාමල්ගේ කාර් එකක් FCID අත්අඩංගුවට ගනී !

colombotoday