එදා යුද බිමේ පෙරමුණ ගත් මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා…. ඇතැම් විට ඔබේ මතකයේ සිටින්නට පුළුවන. ඇතැම් විට අමතක වී යමින් තිබෙන්නට පුළුවන. සමහර විට අමතක වීද තියෙන්නට පුළුවන. සාමාන්‍ය ජීවිතයේ සොඳුරු මිනිසෙකු හැටියට ඔහු මම හඳුනා ගතිමි. අවසන් ඊළාම් සටනේ මුහමලේ, නගර්කෝවිල් සිට අලිමංකඩ හරහා නන්දිකඩාල් කලපුව දක්වා පැමිණි ගමන 55 වැනි සේනාංකය මෙහෙය වූ ප්‍රසන්න ද සිල්වා මහතා සමඟ ලියමි.
මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා ශ්‍රී ලංකා යුදහමුදාවට එක්වුණේ 1982 වර්ෂයේදී දෙවන ලුතිනන්වරයකු හැටියටය. ඒ පාබළ රෙජිමේන්තුවේ පළමු වැනි බළ ඇණිය වෙතය. ඉන් වසර පහකට පසු විශේෂ බළකායට එක්වූ ඔහු කලක් ඇවෑමෙන් පළවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියා ලෙස පත්විය. ඔහු වවුනියාවේ නන්දිකුලම් සටනකදී බිහිසුණු අන්දමින් තුවාල වූයේ එකලය.
හතර වැනි ඊළාම් යුද්ධය ලෙස හඳුන්වන එල්ටීටීඊයේ අවසන් මහ සටනේදී මාවිල්ආරු, මනිරාසකුලම්, සාම්පූර්. වාකරේ ප්‍රදේශ මුදා ගැනීමේ මෙහෙයුමේ බල සේනාධිපතිවරයා හැටියට කටයුතු කළේ ඔහුය. එදා ලුතිනන් කර්නල් නිලයේ සිටි ප්‍රසන්න ද සිල්වා මහතාය. ඉන් පසු 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස බි්‍රගේඩියර්වරයකු ලෙස උසස්ව ප්‍රසන්න ද සිල්වා මහතා මුහමලෙන් සටන ආරම්භ කළේය. 55 සේනාංකය සමග නන්දිකඩාල් වෙල්ලිමුල්ලවයික්කාල් දක්වා පැමිණි ගමන මෙසේය.
නගර්කෝවිල් සහ මුහමලේ කියන්නේ යුද්ධයේ ඉතාම දරුණු සටන් තිබුණු තැනක්. ඉතිහාසය පුරාම මුහමලේ-නගර්කෝවිල් කියන්නෙ අපේ හමුදාවේ විශාල පිරිසක් මියගිය, තුවාල ලබපු තැනක්.
ඒ වගේම සෘජු ගොඩබිම් මාර්ගය අවහිර වෙලා තිබුණෙ. එවැනි තත්ත්වයක තියෙද්දියි 55 සේනාංකාධිපති හැටියට මම මුහමලේට එන්නෙ. ඒ වෙනකොටත් වන්නි සටන් පටන් අරගෙන ගොඩක් දුර ඇවිත් තිබුණා. විශේෂයෙන් වන්නි සටන්වල බිගේඩියර් ජගත් ඩයස්, බිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා, බිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ වගේ කණ්ඩායමක් වේගයෙන් ඉදිරියට යමින් තිබුණා.
මා මුහමලේ භාර ගනිද්දිම දැනගෙන හිටියා තීරණාත්මක වගකීමක් තුළ ජීවත් විය යුතු බව. ඒකට හේතු ගොඩක් තිබුණා.
එකක් තමයි එල්ටීටීඊයේ ප්‍රබලම ආරක්ෂක බලප්‍රදේශයක් විදිහටයි මුහමලේ-නගර්කෝවිල් තියාගෙන හිටියේ. බිම්බෝම්බ, ටැංකි නාශක, යුද අගල්, වගේම යුදපිටියේ දැකියහැකි සියලු මර උගුල් සහිත ප්‍රදේශයක් හැටියට එය එල්ටීටීඊ බලය පතුරුවාගෙන හිටියා.
මුහමලේ ප්‍රදේශයේ එල්ටීටීඊ ස්ථානගත වීම පේලි 3 කට දකින්න තිබුණා. තුන්වැනි පේලිය තිබුණේ අපට මීටර් හාර පන්සියයක් දුරින්.. අනික් පේලි දෙක තිබුණෙ ඊට සුළු දුරක් එහායින්. හමුදාව සහ එල්ටීටීඊය අතර සටන් අර මීටර් හාර පන්සීය සීමාව අතරේ නිතර සිදුවුණා. මොකද ඔවුන් අපේ පැත්තට එන්න උත්සාහ කළා. අපි ඔවුන්ගේ වළල්ල බිඳින්න උත්සාහ කළා.
එල්ටීටීඊය වුණත් මුහමලේ අතඅරින්න කැමැති වුණේම නෑ. ඒ නිසා ප්‍රබලම එල්ටීටීඊ නායකයන් එතැන සිට අණ දුන්නා. දරුණුම සාමාජික වළල්ලක් යොදල තිබුණා. වසර ගාණක ඉඳන් සාමාන්‍ය ජනතාව ඒ ප්‍රදේශයේ හිටියෙත් නෑ. 2000 අවුරුද්දේදි අලිමංකඩ අපට අතහැරුණාම මුහමලෙත් අපට නැති වුණා. ඒ නිසා දීර්ඝ කාලයක් එල්ටීටීඊ බලය පැතිරිලා තිබුණා.
මේජර් ජෙනරාල් ප්‍රසන්න සිය මතකය අවදි කරයි.
නගර්කෝවිල් වල ඉඳන් මුහුදුබඩ සටන්වලදී අපට හුඟක් දුෂ්කරතා විඳින්න සිදුවුණා. එකක් තමයි හැම මීටර් 100 න් 100 ටම වගේ එල්ටීටීඊය වැලි කඳු සහ යුද අගල් සකස් කරගෙන තිබුණා. ඒ වගේම වැලි සහිත භූමිය. කුඩා ගස් තිබුණෙ. යුද ටැංකි පවා යවන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඔය පස් කඳු තිබුණු ප්‍රදේශයේ අපි දැකපු විශේෂම දේ තමයි එල්ටීටීඊයේ ජූනියර්ම (නවක සෙබළු) ඉදිරියට දාලා ඊට පිටිපස්සෙ පස් කන්දේ හිටියෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයො ටික. ඉතින් පස් කඳු ළඟදි අපි සමඟ මුලින්ම සටනට පැටලුණේ නවක අයයි. අපි ඔවුන්ට ගහනවා. හැබැයි ඔවුන්ට අපට මුහුණ දෙන්න අමාරුයි කියලා ආපස්සට දුවන්න බෑ. මොකද ඉස්සරහ ඉන්න අපට ගහන්න බැරිව පිටිපස්සට හැරුණොත් සීනියර් (ජේ්‍යෂ්ඨ) එල්ටීටීඊ සාමාජිකයො ජූනියර්ලට වෙඩි තියනවා. ආපසු හැරුණු නවක එල්ටීටීඊ සාමාජිකයන් විශාල පිරිසක් ජ්‍යෙෂ්ඨයි කියන එල්ටීටීඊ කාරයො පිටුපස පස් කන්දේ ඉඳන් වෙඩි තියල මැරුවා. ඒ නිසා මරාගෙන මැරෙන්නයි ජූනියර්ලට වුණේ. චලෙයි, චුල්ඩිකුලම්, කඩෙයිකාඩු, වෙට්ටලකේනි කියන කිලෝමීටර් 80 තුළම තිබුණෙ බිහිසුණු දුෂ්කරතා. ඒ වගේම නගර්කෝවිල් සිට පහළට සියලුම මුහුදු බේසස් ටික තිබුණෙ මේ කලාපය තුළ. තවත් වැදගත් කාරණයක් තියෙනවා.
-ඒ කුමක්ද?” මම විමසිලිමත් වීමි.
මෙහෙමයි… එල්ටීටීඊය ජාත්‍යන්තරයේ සිට ලංකාවට අවි ගෙනෙද්දී නාගර්කෝවිල් සහ අවට කලාපය වැඩි වශයෙන් උපයෝගී කරගත්තා. එල්ටීටීඊය නැගෙනහිරට ගෙනත් තිබුණෙ බර අවි දෙකයි. අනික් ගෙනාපු සියලුම බර අවි ගෙනාවේ නගර්කෝවිල්, චලෙයි පැත්තට. යුද්ධය පටන් ගත්තත් හරි අවුරුදු 30 ක් තිස්සෙ හමුදාව චලෙයි ගිහින් තිබුණෙම නෑ. ඉතින් චලෙයි කියන්නෙ ඔවුන් බය නැතිව අවි ආයුධ ගෙන්වා ගනිමින් බලය මෙහෙයවාගත් තැනක්. ඔය චලෙයි කඳවුර එල්ටීටීඊයෙ ලොකුම කඳවුරක්. අපි එතන අල්ලා ගන්නෙ 2009 පෙබරවාරි 06 වැනිදා…. ඒ වෙනකොටත් අපි 2009 ජනවාරි 09 පලෙයි අල්ලාගෙන. 2009 ජනවාරි 10 තෝරන්පත්තු, 2009 ජනවාරි 21 චුල්ඩිකුලම් හරහා ඇවිත් තිබුණෙ. ඔය චලෙයි එහෙම කවදාවත් එල්ටීටීඊය දාල යන්න හීනෙකින්වත් හිතපු නැති තැන්. මේ කඳවුර විශාල ප්‍රදේශයක පැතිරිලා තිබුණා වගේම සැටලයිට් පවා ගණනාවක් තිබුණා. එතැනදී එල්ටීටීඊයේ ප්‍රධානීන් රාශියක් මිය ගියා.
අනික් දේ තමයි අපි මුහමලේ දරුණු සටන ඉවර කළාට පස්සෙ අමාරු වුණේ මුහුදු මායිමේ සටන් ටික. ඒහැර ගොඩබිම ප්‍රදේශයේ පලෙයි, අයියකච්චි එහෙම ලොකු සටන් ආවෙම නෑ. මුහමලේ අල්ල ගනිද්දිම එල්ටීටීඊය ඒවා අත ඇරලා පසුබැහැල ගියා.
55 සේනාංකය ඉන්පසු කෙළින්ම එළැඹෙන්නේ අලිමංකඩ වෙතය. අලිමංකඩට පැමිණීම ගැන මේජර් ජෙනරාල් ප්‍රසන්න කියන්නේ මෙවැනි අදහසකි.
අලිමංකඩ කියන්නේ ඉතාම වැදගත් තැනක්. යාපනයට ඇතුළුවෙන්න තියෙන එකම මාර්ගය වැටිල තිබුණෙ අලිමංකඩ හරහා. අපට අලිමංකඩ නැති වෙනවා කියන්නේම යාපනය අපෙන් ගිලිහුණා කියන එකයි. ඉතිහාසය පුරාම මුහමලේ, පලෙයි එල්ටීටීඊ ය රජ කළේ ඒකනෙ…. ඊළඟ විශේෂ දේ තමයි මම 55 සේනාංකයේ ඉඳන් පහළට ආවේ අපිට අලිමංකඩ තියෙද්දි නෙවෙයි. මුහමලේ, පලෙයි මේ සියලු සටන් අපි කළේ ගොඩබිම් මාර්ගය අවහිර වෙලා තියෙද්දී. තනිකරම ඒ සටන්වලට උදව් ගත්තේ මුහුදෙන් හා ගුවන් මගින්. බර ආයුධ ගෙන්වා ගන්න ගොඩබිම මාර්ගයක් නෑ. ගොඩබිම් මාර්ගයක් නැතුව සේනාංකයක් මෙහෙයවනවා කියන එක බරපතළ ප්‍රශ්නයක්. සියලු දේ ගුවනින් පලාලිවලට ගේනකම් බලාගෙන ඉන්න ඕනෙ. හැබැයි ඒ කාලෙත් හමුදාපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා යුද භූමියට නිතරම ආපු බව මතක් කරන්න ඕනේ.
ගොඩබිම් මාර්ගයක් වත් නැතුව මුහමලේ ප්‍රදේශයේ ඉඳන් ඒ නමය මාර්ගයේ වම් පැත්තේ සිට අපි ක්‍රමයෙන් අලිමංකඩට ආවා. එතැන්දි සේනාංක තුනක් එකට මුණ ගැහුණා. ඒ තමයි 55 අපි. බි්‍රගේඩියර් ශවේන්ද්‍රගේ නායකත්වයෙන් 58 සහ බි්‍රගේඩියර් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 53.
එතැනින් පසු පුදුමාතලන් දක්වා යන ගමන 55 සේනාංකයෙන් ඇරඹිණි.
අපි ඉස්සරහට යන හැම වෙලාවෙම එල්ටීටීඊය සාමාන්‍ය ජනතාවත් අරගෙන පස්සට ගියා. පුදුමාතලන්වලට යනකල් සාමාන්‍ය මිනිස්සු හිටියෙ එල්ටිටීඊය එක්ක.
ඔය කාලෙදි ප්‍රභාකරන් ගැන සටනේ අවසන් භාගය වෙද්දී ලොකු කතාබහ ඇතිවුණා. ඔහු දැන් අල්ලා ගනීවි, අසවල් සේනාංකය අල්ලා ගනීවි කියලා.
ඒ ගැන ඔබලා ක්‍රියා කළේ කොහොමද? මගෙන් අතුරු ප්‍රශ්නයකි.
මෙහෙමනෙ…. අපි යුද භූමියෙ හිටියෙ ප්‍රභාකරන් අල්ලා ගන්න ඕනෙ නිසා නෙවෙයිනේ. අපි යුද්ධ කළේ ප්‍රභාකරන් හෝ එල්ටීටීඊ නායකයන් හඹා යන්න නෙවෙයි. සේනාංකාධිපතිවරු හැටියට අපට පැවරුණේ මානුෂික මෙහෙයුමක්. මිනිස්සු ලක්ෂ 3 ක් විතර එල්ටීටීඊය හිරකරන් ඉන්නවා. ඒ අය බේරා ගන්නයි අපි ඉදිරියට ගියේ ඒ අධිෂ්ඨානයෙන්. හැබැයි එල්ටීටීඊ නායකත්වය මේ බිම ඇතුළෙ අවසාන මොහොතේත් හිටපු බව දැනන් හිටියා. එයාලගෙ නායකයෝ කතා කරපු ගුවන්විදුලි පණිවිඩ හුවමාරු හඬවල් අපිට අහන්න ලැබුණා. ඒ අය කොටුවෙලා හිටපු බව දැනන් හිටියා. හැබැයි ප්‍රභාකරන් අවසාන මොහොත දක්වාම ගුවන් විදුලියෙන් කතා කළේ නෑ. අනික් ප්‍රධානීන් විදිහට හිටපු සුසෙයි වගේ අය නිතර කතා කළා.
ප්‍රභාකරන් අවසාන මොහොතේ අසු වුණොත් අසවල් දේ කළ යුතුයැයි ඉහළින් උපදෙස් ලැබී තිබුණාද? මම නැවත ප්‍රශ්න කළෙමි.
නෑ…. එවැනි කිසිවක් අපට කියල තිබුණෙ නෑ. අපි ගියේ ජනතාව මුදා ගැනීමට පමණයි. දරුණු සටනට එන්නේ කවුද ඔහු හා සටන් කිරීම අපට පැවරී තිබුණා. ඒ හැර ප්‍රභාකරන් අල්ලාගන්න, භාර දෙන්න, ඔහු මරන්න, ඒ කිසිවක් සේනාංකාධිපති කෙනෙක් හැටියට මට කවුරුවත් දැනුම්වත් කිරීමක් කර තිබුණෙ නෑ. අනික් සේනාංකාධිපතිවරුන්ට එහෙම තිබුණා කියා මම හිතන්නෙත් නෑ.
ප්‍රසන්න ද සිල්වා මහතා කියයි.
පුදුමාතලන් වලින් පසු මම 59 සේනාංකය භාරව ගියා. එතනදි අපට තිබුණේ නන්දිකඩාල් කලපුවට පැනීම. වඩුවාකල් පාලම ඒ වන විට එල්ටීටීඊය කඩා බිඳ දාලා තිබුණා. ඒ නිසා අපට සිදුවුණා නන්දිකඩාල් කලපුවට බෝට්ටුවලින් කඩා පනින්න. සිවිල් ජනතාවත් එල්ටීටීඊය සමඟ හිටියා. ඒ නිසා මම මුහුද පැත්තෙන් පනින අලුත් ක්‍රමවේදයක් බැලුවා.
ඒ අලුත් උපක්‍රමය වුණේ මොකක්ද? මම මේජර් ජෙනරල් ප්‍රසන්නගෙන් විමසීමි.
ඒ මුහුද හුඟක් ගැඹුරු තැනක්. එහෙ තිබුණ මුහුද කිට්ටුව විශාල වැලි කන්දක්. ඒ වැලිකන්ද අපි දින ගානක් හෑරුවා. අපි බැලුවේ උමගකින් ගිහින් කලපුවට කඩා පනින්න. එතනදි එල්ටීටීඊය පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් විශාල බෝට්ටු තුනක් අප වෙත කඩාගෙන ආවා. ඉතාම ක්ෂණිකව ආවේ. අපි ලෑස්ති වෙලා හිටියත් ඒ බෝට්ටු නවත්වන්න බැරි අධික වේගයෙන් එන බෝට්ටු. තත්පර 2-3 කින් ටාගට් එකට එනවා. එතනදී අපට ඩැමේජ් වුණා. නමුත් අපි අපේ ඉලක්කය සම්පූර්ණ කරගෙන වඩුවාකල් පාලම ඉංජිනේරු බළකාය සමඟ එකතු වෙලා පැය කීපයක් තුළ හැදුවා.
එතකොට මේ පාලම හරහාද එල්ටීටීඊය අතර සිටි සාමාන්‍ය ජනයා පැමිණියේ.
ඔව්…. එතනදි මිනිස්සු අසූ දාහකට අධික ප්‍රමාණයක් ආවා. ඒ වන විටත් 57 සේනාංකය එක පැත්තකින් පැන්නා. තව පැත්තකින් 53 කොටසක් තව පැත්තකින් ආවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව ඒ පැති කීපයකින් දෙපැත්තකට ගියා.
-එතකොට ප්‍රභාකරන්?”
-ප්‍රභාකරන් මැරුණේ මගේ පැත්තේ නෙවෙයි.”
ඔබගේ සේනාංකය බේරාගත් විශේෂ අය අතර හිටියෙ කවුද?
ඇත්තටම මම ඒ ජනතාව මුදවා ගෙන භාර දුන්නෙ වෙනත් පිරිසක් අතට. එතන කවුද හිටියෙ නායකයො කියල බැලුවේ නෑ. හැබැයි ප්‍රභාකරන්ගෙ අම්මයි, තාත්තයි ආවේ මා බේරාගත් කණ්ඩායම තුළයි. ඒ වගේම අපේ නාවුක හමුදාවේ සෙබළු 7 දෙනෙක් ආවා. ඒ අය එල්ටීටීඊය අවුරුදු 8 ක් සිරගත කරන් හිටපු අයයි.
වෙල්ලමුල්ලි වයික්කාල් කිට්ටුවෙද්දී ඉහළ ප්‍රධානීන් කවුද ඔබට කතා කළේ…?
නන්දිකඩාල් පනින දවසෙත් මට ආරක්ෂක ලේකම්තුමා හවස කතා කළා. එයා තමයි කිව්වේ අද රෑ කොහොම හරි නන්දිකඩාල් පනින්න, අනික් අයත් අද පනිනවා කියලා. යුද හමුදාපතිතුමා චීනයේ ඉඳන් මට කතා කළා. එයා ඇහුවා මොකද වෙන්නෙ කියලා. ඊට වඩා වෙන විශේෂ දෙයක් වුණේ නෑ. කවුරුවත් මට ඊට වඩා විශේෂ යමක් කීවේ නෑ.
(ලංකාදීප)