Articlesරට වටා

විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් නියගය ආපදාවක්‌ වන්නේ නැත

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම නියං තත්ත්වයක්‌ පවතින බවත්, තවත් ප්‍රදේශ ගණනාවක ළිංවල මට්‌ටම් ඉතා පහළ බවත්, එම තත්ත්වයක්‌ තව තවත් බැරෑරුම් වීමේ සම්භාවිතාව වැඩි බවත් ජනමාධ්‍යවලින් හඩ නැෙගද්දී, මෙය නවතම ආරංචියක්‌ සේ සලකන අය අතර මැති ඇමතිවරුන්, සංඝයා වහන්සේලා මෙන්ම විෂය භාර නිලධාරීන් ද සිටින බව එම ජනමාධ්‍ය හරහා ම ලැබෙන තෙරතුරුවලින් පැහැදිලි වේ.

ගෙවී ගිය 2016 වසර වර්ෂාපතනය අඩුවෙන් ලැබිය හැකි වසරක්‌ බවට ඉඟි පළ වූයේ 2015 වර්ෂයේ සිට ම බව විදුසර පාඨකයන්ට අමතක විය නොහැකි ය. ලෝක කාලගුණ විද්‍යා ආයතනය සහ ඇමෙරිකාවේ ජාතික සාගර වායුගෝලීය සංවිධානය (NOAA) සහ තවත් ජගත් සංවිධාන කිහිපයක්‌ විසින් කරන ලද දත්ත විශ්ලේෂණ හරහා 2015 වසරේ පැසිෆික්‌ සමුදුර ප්‍රදේශයේ තීව්‍ර එල්නිනෝ තත්ත්වයක්‌ වර්ධනය වන බවට නතුරු හැඟවීම් නිකුත් කෙරුණා පමණක්‌ නො ව, ඉන් ඇති විය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදි.

2015 වසරේ සහ 2016 වසරේ ප්‍රථම භාගයේ දී කාලගුණ විද්‍යා මධ්‍යස්‌ථානය ඇතුළු ආයතන කිහිපයක්‌ ම දේශන සහ සම්මන්ත්‍රණ පවත්වමින් එල්නිනෝවේ බලපෑම් පිළිබඳව කළ දැනුවත් කිරීම් ජනමාධ්‍ය හරහා ජනතාව වෙත ළඟා වූ බව ඔබට මතක ඇත. 2016 ජනවාරි 13 වැනි දා විදුසර පුවත්පතේ “එල්නිනෝ ආචරණය අපට කෙසේ බලපායි ද?” යන ලිපිය ඇතුළු පුවත්පත් ලිපි කිහිපයක්‌ ම මගින් එල්ලිනෝවේ බලපෑම නිසා 2016 වසරේ වර්ෂාව අඩු විය හැකි බවට සාධක සාකච්ඡා විය.

එල්නිනෝ ආචරණය එක්‌ වසරට පමණක්‌ ආවේණික වූවක්‌ නො ව, වසර හතර – පහකට වරක්‌ උද්ගත වන ගෝලීය කාලගුණ විපර්යාසයක්‌ බව ද ලිපිවල සඳහන් විය. වසර ගණනාවක්‌ තුළ පැසිෆික්‌ සමුදුරේ වර්ධනය වූ එල්නිනෝවලින් ශ්‍රී ලංකා කාලගුණයට සිදු වූ බලපෑම් අධ්‍යයනය කළ කාලගුණ විද්‍යාඥයෝ එම විශ්ලෙෂණවල ප්‍රතිඵල කාලගුණ අනාවැකි සඳහා උපයෝගී කර ගනිති. ඒ අනුව 2015 එල්නිනෝ වසරේ දෙවැනි අන්තර් මෝසම් වර්ෂාව ඉහළ යැම බලාපොරොත්තු වූවා සේ ම ජලාශ බොහොමයක්‌ පිටාර ගලන තෙක්‌ ම ධාරාණිපාත වර්ෂාව කඩා හැළුණු බව පාඨක ඔබට මතක ඇත. ඒ අයුරින් ම, එල්නිනෝ වසරට පසු වසරේ නිරිතදිග මෝසම සහ ප්‍රථම අන්තර් මෝසම වර්ෂාපතනයන් දුර්වල වීම බලාපොරොත්තු වූවා සේ ම සිදු විය.

මැති ඇමතිවරුන් සහ අදාළ ෙéත්‍ර භාර රාජ්‍ය නිලධාරීන් විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් උග්‍ර විය හැකි ජල ඌනතාවේ රුදුරු ප්‍රතිඵල අවම කිරීමේ පරිපාලනමය පියවර දියත් කිරීමට හැකියාව තිබිණි. 2016 නිරිතදිග මෝසම් වර්ෂාව අඩකින් පමණ අඩු වූ බව 2016 සැප්තැම්බර් මාසය වන විටත් ප්‍රකාශ වී තිබුණ ද එයට සවන් දීමක්‌ සිදු වී නොමැත. ඒ අවදානම මේ වන විට තවදුරටත් උග්‍ර ව ඇත්තේ 2016 දෙවැනි අන්තර් මෝසම් වර්ෂාව ද අඩු වීම නිසා ය. යථාර්ථය එසේ වූවත්, ඒ බැව් නො දන්නා සේ මැති ඇමැතිවරුන් හිතුවක්‌කාර තීරණ ගන්නේ විද්‍යාඥ මතයට පයින් ගසා බව පෙනී යයි. එක්‌ උදාහරණයක්‌ වන්නේ, විදුලි ඉංජිනේරු මතය අනුව නො ගොස්‌ ජල විදුලි සැලයුම කැපීමක්‌ නො කිරීමට ඇමැතිවරුන් ගෙන ඇති තීරණයයි. දැන් බලපාන ඊසානදිග මෝසම් සමයේ නැෙගනහිර තරංග (EASTERLY WAVES) වර්ධනය වුව හොත් පමණක්‌ සැලකිය යුතු වර්ෂාවක්‌ ලැබිය හැකි ය. එසේ නො වී උත්තර ඉන්දීය වැඩි පීඩන ප්‍රදේශයෙන් ආරම්භ වන සිසිල් වියළි සුළංවල බලපෑමට යටත් වුව හොත් ජල ඌනතාව තවත් උග්‍ර වනු නොඅනුමාන ය. එතෙක්‌ නො සිට අදාළ ජල කළමනාකරණ පියවර වෙත ජනතාව යොමු කිරීම වගකිවයුතු නිලධාරීන් ගේ වගකීම නො වන්නේ ද?

නියං තත්ත්වයක්‌ හෝ එල්නිනෝවල අයහපත් ප්‍රතිඵල පිළිබඳව හෝ නිවේදන නිකුත් වීමෙන් අනතුරුව රටවල් කිහිපයක රාජ්‍යයන් විසින් ජල කළමනාකරණ පියවර දියත් කිරීමට අදාළ නියෝග ජනසන්නිවේදන මාර්ග හරහා ජනතාව වෙත සහ සියලු වගකිවයුත්තන් වෙත සන්නිවේදනය කිරීමට පියවර ගනු ලැබිණි. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනිසියාව සහ ඕස්‌ටේ්‍රලියාව උදාහරණ සේ ගත හැකි ය. නළ ජලය භාවිතයෙන් වාහන සේදීම, මංමාවත් සෝදා පවිත්‍ර කිරීම, ශාක සහ පැළ තවාන්වලට ජලය යෙදීම ආදී කටයුතු සීමා කිරීම සහ තහනම් කිරීම එවැනි ජල කළමනාකරණ පියවරවලින් කිහිපයකි. ජල විදුලි බලය සැපයීම සැලසුම් සහිත ව කප්පාදු කිරීම සහ ජල සැපයුම සීමා කිරීම ද තවත් පියවර දෙකකි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලාපවහන අංශ සහ කෘෂි කර්මික ආයතනවල විෂය භාර නිලධාරීන් විසින් ජල කළමනාකරණ ප්‍රතිපත්ති දියත් කිරීම ආරම්භ කළ යුතු ව තිබුණේ 2016 නිරිතදිග මෝසම් සමයේ ම බව පැහැදිලි ය. විෂය පිළිබඳ අවබෝධය ඇති නිලධාරීන්ට අවශ්‍ය කළමනාකාරණ පියවර දියත් කිරීමට අවකාශ ලබා දීම වළකා ඔවුන් අභිබවා ගොස්‌ හිතුවක්‌කාර තීරණ ගැනීමට මැති ඇමැතිවරුන් පියවර ගැනීමේ අවසන් ප්‍රතිඵලය මහා ආපදාවක්‌ වන්නේ ම ය.

මේ අතර ම, නියගය යන්න ජනතාවට ආපදාකාරී වන බව වටහා නො ගෙන තවත් අවිද්‍යාත්මක ක්‍රියාවක්‌ වෙත රටේ ජනතාව පෙලඹවීමට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබීම හාස්‍යජනක ය. වර්ෂාව අඩු වීමට, වැඩි වීමට හෝ වර්ෂාව වර්ධනය වීමට බලපාන සාධක පිළිබඳ කිසිදු අවබෝධයක්‌ නොමැති ආගමික කණ්‌ඩායම් සමඟ දේශපාලනඥයන් ද අත්වැල් බැඳගෙන වර්ෂාව පතා ගස්‌, ගල්, ප්‍රතිමා සහ ස්‌ථූප ඉදිරියේ වැඳවැටෙමින් පුද පූජා පැවැත්වීම මේ දියුණු ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සිටින්නේ විද්‍යාත්මකව කෙතරම් පසුගාමී තැනක ද යන්න ලොවට ම කියාපාන්නකි.

විද්‍යා සහ තාක්‌ෂණික අවබෝධය ජනතාව අතර ප්‍රචලිත කිරීම පිළිබඳව එක්‌ අතකින් ප්‍රසිද්ධියේ අදහස්‌ දක්‌වන දේශපාලනඥයන් අනෙක්‌ පසින් විද්‍යාවබෝධයට සමච්චල් කරමින් මුදල්, කාලය ද මිනිස්‌ ශ්‍රමය ද නාස්‌ති කෙරෙන පුද පූජා වැනි කටයුතුවල යෙදීම එකිනෙකට පරස්‌පර ය.

විශාල ජල ප්‍රශ්නයක්‌ පවතින මේ සමයේ ඒ ඒ ෙéත්‍රවල නිපුන නිලධාරීන්ට ජල කළමනාකරණ පියවර ගැනීමට සියලු දේශපාලනඥයන් සහාය දැක්‌විය යුතු බව අවසන් වශයෙන් අවධාරණය කරමි.

කේ. ආර්. අභයසිංහ

Related posts

“යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා” නුවරට, නුවරක් හැදූ දිරිය මිනිසෙකුගේ කතාව

colombotoday

සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන

colombotoday

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ජන්මදිනය අදයි

colombotoday

මැදපෙරදිගට වහල් ශ්‍රමය විකුණා ආර්ථිකය ගොඩ ගත හැකිද?

colombotoday

අල්ලාගත් රටවල් බෙදා විනාශකල සුද්දා දැන් කියන්නේ ලංකාව රටවල් දෙකකට බෙදිය යුතුයි කියාය.

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday