Colombo Today Local News

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

udaya gammanpila

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

වැට් බද්දට මෙතරම් විරෝධයක් ඇයි?

ආණ්ඩුවේ ඇමතිවරුන්ට වැට් බද්දට එරෙහි රට පුරා ඇති වන උද්ඝෝෂණය අවබෝධ වෙලා නෑ. ඊයේ රෑත් මාධ්‍යවල ඇමතිවරයෙකු කියනවා. මහින්ද ආණ්ඩුව කාලයේ 11%ට තිබුණු බද්ද අපි 15% දක්වා වැඩි කලේ. කාලයක් වැට් 20%ක් විධියටත් තිබුණා. ඉතින් 4%ට ඇයි බොරු විරෝධයක් පල කරන්නේ කියලා.

මේ ආණ්ඩුව වැට් බද්දට සංශෝධන තුනක් කළා. එකක් තමයි ඔය 4%කින් බද්ද වැඩි කරපු එක. ඒකට නොවේ ජනතාව විරෝධය පල කරන්නේ. අනිත් කාරණා දෙකට. භයානකම දේ තමයි වැට් බද්දට යටත් වන වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 100 සිට මිලියන 12 දක්වා අඩු කිරීම. මීට කලින් වැට් ගෙව්වේ සුපිරි වෙළඳසැල් හතරක් විතරයි. හැබැයි ඒ අය දැවැන්ත තොග එක පාර මිළ දී ගන්නා නිසා ඒ අයගේ මිළ දී ගැනීමේ වියදම අඩුයි. ඒ නිසා වැට් ගෙවලත් තරගකාරි මිළකට විකුණන්න පුළුවන්. ඒ වගේම සුපිරි වෙළඳසැල් වායු සමනය කරලා, වාහන නැවතීමේ පහසුකම් ලබා දීලා තෝරා ගන්න භාණ්ඩ රාශියක් තිබෙන නිසා මිළ ටිකක් වැඩි වුණත් පාරිභෝගිකයා එතැනට ඇදිලා එනවා.

අළුත් තත්වය යටතේ ගමේ පෙට්ටි කඩේ මුදලාලිත් සුපිරි වෙළඳසැල වගේම වැට් ගෙවන්න ඕනෑ. හැබැයි දැවැන්ත තොගයක් එක වර ගන්නේ නැති නිසා අඩු මිළට බඩු ලැබෙන්නේ නෑ. එතකොට පෙට්ටි කඩේ බඩු මිළ සුපිරි වෙළඳසැලට වඩා වැඩියි. මේ වැට් බද්දට යටත් වන පිරිවැටුම රුපියල් මිලියන 12 දක්වා පහත දැමීමෙන් සුපිරි වෙළඳසැල් කිහිපය පමණක් ඉතිරි වෙලා සියළුම කුඩා වෙළඳසැල් වැසී යෑමේ අවදානමක් මතු වෙලා තිබෙනවා. මේ අය පාරට බැස්සේ ඒකයි.

තෙවන හේතුව තමයි මෙතෙක් වැට් බදු අය නොකරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් දැන් වැට් බදු පනවා තිබෙනවා. මේක පෞද්ගලික අධ්‍යාපනයටත් ගෙනාවා. අපේ බලවත් විරෝධය නිසා ඒක අයින් කළා. දැන් සැත්කම් සඳහා ලේ මුත්‍රා වැනි පරීක්ෂණ සඳහා වැට් බදු අය කරනවා. මගේ හිතවත් විශ්‍රාමික ආණ්ඩුවේ නිලධාරියෙකු හදවත් සැත්කමක් පෞද්ගලික රෝහලකින් කර ගන්න බොහොම අමාරුවෙන් රුපියල් ලක්ෂ හයක් හොයා ගෙන දින යොදා ගෙන තිබුණා. අදාල දිනයට රෝහල් ගත වීමට පෙර සුබ පතන්න මම කතා කළා. වැට් බද්ද නිසා තවත් රු 90000ක් ගෙවන්න වෙලා. ඒක සොයා ගන්න අමාරු නිසා සැත්කම කල් දාලා. දැන් මරණය අල්ලේ තියා ගෙන අර රු90,000 සොයනවා.

බුදු දහමට හිමි තැන අහිමි කිරීම කිරීම බොරුවක් ද?

නව ව්‍යවස්ථාව හරහා බුදු දහමට හිමි තැන අහිමි කිරීමට වෙර දරණ බවට බොරු ප්‍රචාර ගෙන ගොස් ජනතාව කුපිත කිරීමේ උත්සාහයක් තිබෙන බවට ජනපති කියනවා. අගමැතිත් ආණ්ඩුවේ එවැනි උත්සාහයක් නැති බවට නිවේදනයක් නිකුත් කළා. අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිලිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායකත් එම ප්‍රචාරය ප්‍රතික්ෂේප කළා. අපි ඉතාම පැහැදිලිව කියනවා එහෙම උත්සාහයක් තිබෙනවා. ඒක යෝජනා කර තිබෙන්නේ විජේනායක කමිටුවෙන් තමයි.

විජේනායක කමිටුවේ සිටින 19 දෙනාගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය, එහෙමත් නැතිනම් බුදු දහම පිළිබඳ තිබෙන පරිච්ඡේදය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට එකඟ වී ඇත්තේ දෙන්නයි. ඒ කුෂාන් අල්විස් සහ නදීකා දමයන්ති. එහෙම නැතෝ කියන විජේනායක මහතාත් බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට නිර්දේශ කරලා තිබෙනවා. එතුමාට ඒක මතක නැති නම් තමන්ගේ වාර්තාවේ 17 පිටුව යලි කියවන්න කියා මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඒකීය රාජ්‍යය සුරකින්න නිර්දේශ කරලා තිබෙන්නේ 19 දෙනාගෙන් ජනී කුෂාන් ද අල්විස් විතරයි. තවත් පිරිසක් ඒකීය රාජ්‍යය කියන යෙදුමට පෙඩරල් පන්නයේ නිර්වචනයක් දීලා එහෙම ඒකීය රාජ්‍යයකට නම් අපි එකඟයි කියා නිර්දේශ කර තිබෙනවා. ඒක ඇස් බැන්දුමක්. බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන්න නිර්දේශ කරන්නේ දෙන්නයි. ඒකීයභාවය සුරකින්න නිර්දේශ කරන්නේ එක්කෙනයි. මේ රටේ අතිශයින්ම සංවේදි ප්‍රශ්න දෙකක් දෙස මේ කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් පෙනෙනවා මේ අය ජීවත් වෙන්නේ මහ පොලවේ නොවේ කියලා. ජනාධිපතිතුමා මේ අපූරු කමිටු සාමාජිකයෝ කොහෙන් හොයා ගත්තා ද දන්නේ නෑ. මේ කමිටු නිර්දේශ පිලිබඳ තමයි අපි කතා කරන්නේ.

රනිල් චන්ද්‍රිකා තවමත් එකට නටයි

අගමැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ දී කිව්වා චන්ද්‍රිකා මැතිණියත් සමග එතුමා එකට නැටුවා කියලා. එදා නම් දේශීය බෙර තාලයට දේශීය වන්නම් ගායනා කරද්දි දෙන්නා එකට නැටුවේ. තවමත් දෙන්නා එකට නටන එක නතර කරලා නෑ. හැබැයි වෙනසක් තිබෙනවා. අද බෙරේ වයන්නේ ඉන්දියාව. වන්නම් ගායනා කරන්නේ ඇමෙරිකාව. දෙන්නා හරිම අපූරුවට අඩව් අල්ලනවා. කස්තිරම් පනිනවා. අපි අනතුරු ඇඟවීමක් කරනවා. දෙන්නා මොන නැටුම එකට නැටුවත් අපට කමක් නෑ. හැබැයි පොඩ්ඩ වැරදුනොත් විනාශ වෙන්නේ අපේ ආදරණීය මව්බිම.

යාපනයේ තවමත් ඊළාම් උසාවි ද?

යාපනයේ සරසවියේ ඇති වුණු ගැටුමේ දී උසාවිය කටයුතු කළ ආකාරය අතිශයින්ම ප්‍රශ්නකාරියි. තමන්ට පහර දීමට නායකත්වය දුන්නේ කවුද පහර දුන්නේ කවුද කියලා පහර කෑ සිසුන් පොලීසියට ප්‍රකාශ කරලා තිබුණා. පහර කෑමට ලක් වුණු දරුවන්ගේ ප්‍රකාශ වල නම් සඳහන් අය අත්අඩංගුවට ගන්න එපා ඒ අය උසාවියට භාර වේවි කියලා පොලිස් නිළධාරින්ට ඉහළින් උපදසේ ලැබුණු බවට මට දැනුම් දුන්නා. කිව්වා වගේම අන්තවාදි කොටි හිතැති ශිෂ්‍ය නායකයෙකු වන සසිදරන් තනකේශ්වරන් උසාවියට භාර වුණා. සාමාන්‍යයෙන් මෙවැනි පහර දීමක දී සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ නෑ. ඇප පනතේ ඇප නොදීමට දක්වන හේතු හතරෙන් තුනක්ම සසිදරන්ට අදාළයි. පහර දීමක දී නොවේ හදිසි අනතුරක දී වුණත් ගොදුරු වුණු තැනැත්තා බරපතල තත්වයක සිටින බව වෛද්‍යවරු සනාථ කරනවා නම් ඇප දෙන්නේ නෑ. ඒ ජීවිත හානියක් වුණොත් අධිකරණය මග හැර සිටීමට හැකි බැවින්. දෙවන හේතුව වන්නේ ශිෂ්‍ය නායකයෙකු වගේම මැර පසුබිමක් තිබෙන අයෙකු වන හෙයින් අනෙකුත් සිසුන් සාක්ෂි දීමට බලපෑම් කරන්න පුළුවන්. තෙවන හේතුව වන්නේ මහජන කැළඹිලි වලට තුඩු දෙන සිදුවීම් වල දී ද ඇප දෙන්නේ නෑ.

මේ කාරණා තුනම තිබිය දී උසාවියෙන් ඇප ලැබෙනවා. දකුණේ නවක වදය සිදුවීමකට අත්අඩංගුවට ගත් සිසුවියන් තවමත් රක්ෂිත බන්ධානාගාරයේ. උතුරේ බරපතල තුවාල සිදු කරමින් පහර දුන් සිසුන්ට ඇප. මේ දෙයාකාර තීන්දුත් සමග උතුරේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ කොටි උසාවි ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

දැන් මම උසාවි ගැන කියූ දේවල් වාර්තා කරන්න බය වෙන්න එපා. උසාවිය විවේචනය කිරීම උසාවියට අපහාසයක් වෙන්නේ නෑ. ඇමෙරිකාවේ එංගලන්තයේ සති අන්ත පත්තරවල විශ්‍රාමික විනිසුරන් ජ්‍යෙෂ්ඨ රාජ නීතිඥයින් උසාවි තීන්දු පතුරු ගහනවා. ඒ සංස්කෘතිය මෑතක් වන තුරු ලංකාවේ තිබුණා. ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමියගේ නඩු තීන්දුවක් පතුරු ගහලා ජනාධිපති නීතිඥ එච් එල් සිල්වා ඩේලි නිව්ස් පත්තරේට ලිපියක් පල කළා 2003 දී.

මේ සිසුවා උසාවියට භාර කරලා ඇප ලබා ගන්නේ දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන්. මේ අය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ ඒ අය හරියි කියලා ඒ අයව රකිනවා කියන එකයි. එහෙව් දෙමළ ජාතික සංධානය සමග ද ආණ්ඩුව සංහිඳියාව ගොඩ නගන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා.

සසිදරන්ට ඇප ලබා දීමට කළමනාකරණ පීඨයේ පීඨාධිපති වේලනම්බි මහතා ඇවිත්. මේ අයට තමයි ආණ්ඩුව විනය ක්‍රියා මාර්ග අරන් ප්‍රශ්නය විසඳන්න භාර දීලා තිබෙන්නේ.

අරවින්ද අතුකෝරල

Related posts

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

ඉන්දියානු ශ්‍රමියකයන් ගෙන්වා නොගන්නා බවට “එට්කා“ ගිවිසුමේ වගන්තියක් මගින් තහවුරුකර පෙන්වනු!

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

colombotoday

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

colombotoday

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday