Colombo Today Local News

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

vimal 1121

වික‍්‍රමසිංහ – සිරිසේන රෙජීමයේ රට ආපස්සට ඇද ගෙන යන ගමනට එරෙහි සටනට එක්වෙමු!

– ජානිපෙ නායක විමල් වීරවංශ

වික‍්‍රමසිංහ – සිරිසේන රෙජීමයේ රට ආපස්සට ඇදගෙන යන ගමනට එරෙහිව සටන් වැදීම පිණිස සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ බලවේග එක්විය යුතු කාලය එළඹ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

342/1/4, ඊ. ඩබ්ලිව්. පෙරේරා මාවත, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානයේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලූ වෘත්තිකයන්ගේ සංගම්, ඉදිරියේදී මේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ETCA හෙවත් ශ‍්‍රී ලංකාවේ සේවා ආර්ථිකය සහ රැකියා වෙළඳපොළ ඉන්දියානුවන්ට විවෘත කෙරෙන පාවාදීමේ ගිවිසුමට එරෙහිව පාරට බැස්සා. ඒ සටනේ සිටින වෘත්තිකයන්ගේ හඩට සාවධානව ඇහුම්කන් දෙන්නේ නැතිව, ඔවුන් පවසන මතය නිවැරදිව ග‍්‍රහණයකර ගන්නේ නැතිව අග‍්‍රාමාත්‍යවරයාත් ඔහුගේ ගෝලබාලයනුත් වෘත්තිකයන්ට තර්ජනය කිරීම සහ ඔවුන්ට එරෙහිව මර්දන ක‍්‍රියාමාර්ග තේරීම අද සිදු වෙනවා.

විදුලි සංදේශ, ඩිජිටල් කටයුතු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා බදුල්ල මහ රෝහල ඉදිරිපිට වෛද්‍ය වෘත්තිකයන් සිදු කළ සාමකාමී උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට, ඔවුන් බිය වැද්දීමට තම ගෝලබාලයන් යවලා ඉතාමත් ත‍්‍රාඩ උත්සාහයක නියැලී තිබුණා. ඒ විතරක් නොවෙයි හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට ‘පාදඩයා’ යැයි හඳුන්වමින් ඉතාමත් පහත් පෙලේ ප‍්‍රහාරයක් එල්ල කළා. මෙමගින් පෙනී යන්නේ මේ ආණ්ඩුවේ මානසිකත්වය.

‘ඩිජිටල් නොවෙයි ඇනලොග් ඇමතිකමටවත් සුදුසුද?’

අග‍්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට ගෙම්බා, රීරි යකා ආදී එක එක නම් කියමින් අපහාස කරනවා. ඒ අතරේ වෛද්‍යවරුන්ටත් ‘පාදඩයා’ කියමින් අපහාස කරන වාතාවරණයක් අද මේ ආණ්ඩුව විසින් හදලා තිබෙනවා. ආණ්ඩුවේ ‘ඩිජිටල් ඇමති’ වෛද්‍යවරුන්ට ‘පාදඩයා’ කියන මට්ටමට වැටුණු ‘ඇනලොග්වත්’ නොවන ඇමතිවරයකුගේ මට්ටමට වැටී තිබෙනවා. වෛද්‍යවරුන්ට පමණක් නොවෙයි අද මේ ආණ්ඩුව තර්ජනය කරන්නේ. මාධ්‍යවේදීන්ට, රණවිරුවන්ට, මහා සංඝරත්නයට හිටපු ජනාධිපතිවරයා ඇතුළු තමන්ට හීලෑ නොවුණු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ඇතුළු සියලූ දෙනාට එකී තර්ජනය එල්ල වී තිබෙනවා. සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට අද මේ වික‍්‍රමසිංහ – සිරිසේන රෙජීමයේ තර්ජනය එල්ල වී තිබෙනවා.

අද සැබෑ විපක්‍ෂ දේශපාලන පක්‍ෂයක්, වෘත්තීය සමිතියක්, ජාතික සංවිධානයක්, පෝස්ටරයක්, පත‍්‍රිකාවක් මුද්‍රණය කළොත් මුද්‍රණාලයට ගිහිල්ලා මුද්‍රණකරුවන්ගෙන් සීඅයිඩිය ප‍්‍රශ්න කරනවා. ඒ විදිහට භීතිකාවක් ඇති කරලා, ඒවා මුද්‍රණය කළ යුතු නැහැ කියන මානසිකත්වයකට මුද්‍රණකරුවන් අද පොළඹවමින් සිටිනවා. මේ අය දෙනවා කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද? මේ ආණ්ඩුව මේ රටේ ඉදිරි ගමනට ඵලදායක වන කිසිදු පියවරක් ජනවාරි 08 වැනිදා සිට මෙතෙක් අරගෙන නැහැ. මේ අය කරමින් ඉන්නේ පැති දෙකකින් ජාත්‍යන්තර බලවතුන් සතුටු කරමින් සිටීම පමණයි.

‘ඉන්දීය ගිලන්රථ සමග පැමිණෙන රෝ ඔත්තුකරුවෝ’

අද ඉන්දියාවට ගිලන්රථ සේවාවක් ඇරඹීමේ ඉඩකඩ ලබාදී තිබෙනවා. ඉන්දියාවත් පවසනවා ‘මුල් අවුරුදු දෙක, තුන සඳහා මේ සේවාව නොමිලේ සපයනවා’ කියලා. නමුත් මෙමගින් බස්නාහිර හා දකුණු පළාත්වල සියලූ තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් හදා ගැනීමට එම ගිලන් රථ සමාගමේ සේවයට එන සේවකයන්ට හැකි වෙනවා. ඒ ඉන්දීය සේවකයන් බොහෝ දෙනකු රෝ ඔත්තු සේවයට අයත් පුද්ගලයන් බවයි අපට අනාවරණය වෙලා තිබෙන්නේ.

ඉන්දියාවේ ගිලන් රථ නොමැතිව පමණක් නොවෙයි, ගිලන් රථ යාමට පාරක් නොමැති නිසාත් මිනිසුන් මිය යනවා, ඉන්දියාවේ සෞඛ්‍ය සේවය ලොව පහළම මට්ටමේ සෞඛ්‍ය සේවයක්. එසේ තිබියදී ලංකාවට ඉන්දියානු ගිලන් රථ දෙන්නේ ඇයි? එය වෙනම ආයතනයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යෘංශයට අනුයුක්ත කරලා තිබුණත් ඒකට වග කියන්නේ කවුද, කියන එක අවිනිශ්චිතයි.

‘ගොවියා මහ පාරට ඇද දමලා’

අද ගොවි ජනතාව තමන්ගේ වී ටික සහතික මිලට විකුණාගන්න බැරිව පාරට වැටිලා. 2005දී බලයට ආපු මහින්ද රාජපක්‍ෂ පාලනය ගොවියා වස බී මියගිය යුගය අවසන් කළා. දැන් නැවතත් මේ ආණ්ඩුව ගොවියා සියදිවි නසා ගන්නා යුගයක් ආරම්භ කරලා තිබෙනවා. පැවති ආණ්ඩුව රුපියල් 45-50ට වී කිලෝවක් මිලදී ගත්තා. ‘ඒක මදි. අපි ඊට වැඩි මිලක් දෙනවා‘ කියලයි මේ ආණ්ඩුව බලයට ආවේ. නමුත් අද ගොවියාට වී කිලෝව රුපියල් 20කටත් විකුණා ගන්න බැහැ. දවසින් දවස වී කිලෝවේ මිල පහත බහිනවා. එවිට මේ ආණ්ඩුවට සම්බන්ධ වී මිලදී ගැනීමේ මාෆියාවට විශාල ලාභයක් ලැබෙමින් පවතිනවා.

‘වික‍්‍රමසිංහ – සිරිසේන ඒකාධිපති රෙජිමය’

ලෝක වෙළඳපොළේ ඩොලර් 25-30ට බොරතෙල් බැරලය විකිණෙද්දී මේ ආණ්ඩුව තෙල් මිල අඩු නොකර ඉන්නවා. එමගින් ඉන්දියානු ඔයිල් සමාගම(IOC) විශාල ලාභයක් අරගෙන යනවා. පොහොර සහනාධාරය කප්පාදු කරලා, වී ගොවියා පමණක් නොවෙයි, තේ, රබර්, එළවළු වගාකරුවන් ද දැඩි අපහසුතාවයට පත් කරලා තිබෙනවා. මේ විදියට වෘත්තිකයන් සහ ගොවි ජනතාව අපහසුතාවයට පත් කර ඇති මේ ආණ්ඩුව අද සැබෑ ලෙසම ඒකාධිපති ගමනක් අරඹා තිබෙනවා. අද වික‍්‍රමසිංහ – සිරිසේන ඒකාධිපති රෙජිමයක් ගොඩනැගෙමින් තිබෙනවා.

මේ තත්වය ඉවසන්න තමන් සූදානම් නැහැ කියන එක ජනතාව අද ස්වෙච්ඡාවෙන්ම පාරට බැහැලා ඔප්පු කරමින් සිටිනවා. ‘මේ ආණ්ඩුවේ අමන, මර්දනකාරී ප‍්‍රයත්නය උපන්ගෙයිම පැරදවිය යුතුයි කියන මතයේ තමයි ජනතාව ඉන්නේ. ජනතාව සමග එක්ව මේ ආණ්ඩුවේ අත්තනෝමතික ගමනට එරෙහිව සටන් වැදීමට සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂය සූදානම්ව සිටිනවා. මාර්තු මාසයේ සිට මේ තත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ, ජනතා රැලි පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු යොදා තිබෙනවා. ඒ බව දන්නා නිසයි, ‘හොරු අල්ලනවෝ’ කියමින් මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් දඩයම් කිරිමේ සිය මෙහෙයුම තවතවත් පුළුල් කරමින් සිටින්නේ. අද ආණ්ඩුව සමග යම් චෝදනා සහිත ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරයකු එක්ව සිටිනවානම් ඔහුට විරුද්ධව කිසිදු හඩක් මේ ආණ්ඩුව නගන්නේ නැහැ. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන්ට බොරු චෝදනා, වර ගන්වමින් ඉදිරිපත් කර ඔවුන් දඩයම් කිරීම මේ ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත වී තිබෙනවා. එමගින් අද හඩක් නැති ජනතාවට හඩක් වීමේ ඉඩකඩ ඒකාබද්ධ විපක්‍ෂයට අහිමි කරමින් සිටිනවා.

‘මංගල වොෂින්ටනයේදී කියූ කතාව’

පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කළ කතාවක් විදේශ මාධ්‍යයන්හි පළව තිබෙනවා. මෙවැනි ප‍්‍රවෘත්ති අද මෙරට බොහෝ මාධ්‍ය තුළින් දැක ගැනීමට වෙන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත එල්ලකර ඇති තර්ජන ඊට හේතු වී තිබෙනවා.

දැන් බලන්න, උතුරු අහසේ ගුවන් හමුදාවට පුහුණුවීම් සඳහා තිබූ ඉඩකඩ අද මේ ආණ්ඩුව නොනිල වශයෙන් අත්හිටුවා තිබෙනවා. රටක ගුවන් හමුදාවකට තම රටේ කොටසක ගුවන් සීමාව අහිමි වෙනවා කියන්නේ සුළුපටු දෙයක්ද? නමුත් අද මේ පිළිබඳව කතා කරන්නේ නැති තැනට මේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය දැඩිකර තිබෙනවා.

මංගල සමරවීර මහතා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් කරන කතාවේදී කියනවා ‘ඉදිරි මාස කිහිපය තුළ යුද අපරාධ පිළිබඳ ගවේෂණය කරන අධිකරණය පිහිටුවනවා. ඒ වගේම විදේශීය විනිසුරන්, අභිචෝදකයන්, නීතිඥයන් හා පරීක්‍ෂකයන් එයට සම්බන්ධකර ගැනීමට සලකා බලනවා. මේ පිළිබඳව අවසන් තීරණය ගන්නේ දෙමළ ජාතික සන්ධානය එක්කත් සාකච්ඡා කරලා’ කියලා. නමුත් මීට ටික කලකට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවා ‘අපි ක‍්‍රියාත්මක කරන්නේ දේශීය අධිකරණ යාන්ත‍්‍රණයක්’ කියලා. එහෙමනම් මංගල සමරවීර මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා ඉහත ආකාරයට ප‍්‍රකාශ කළේ කාගේ මතයද? මේකෙන්ම පෙනෙනවා, ‘මේ ආණ්ඩුව බටහිර බලවතුන්ගේ උවමනාව අනුව නැටවෙන රූකඩ පාලනයක්’ කියලා. මේ ආණ්ඩුව මේ රට නැවත අතීතයට රැුගෙන යන්න හදන්නේ. වික‍්‍රමසිංහ – සිරිසේන රෙජීමය අපේ රට නැවත අතීතය කරා රැුගෙන යන ගමනට එරෙහි මේ රටේ පොදු ජනතාව ඒකාබද්ධ විපක්‍ෂය සමග අත්වැල් බැඳගෙන පෙරට ආ යුතුයි. ‘ඒ සටන අපි මාර්තු මාසයේදී අරඹනවා.’ කියන එක අවධාරණය කරනවා’’

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා

ප‍්‍රශ්නය:- දළදා මාලිගාව අබියස මාර්ගය විවෘත කිරීමට ගන්නා උත්සාහය ගැන මොකද කියන්නේ?

පිළිතුර: ‘‘දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කරන්න කියලා උද්ඝෝෂණය කළේ කොළඹ ඉදන් ගිය කට්ටියක්. ඒගොල්ලෝ රාජ්‍ය නොවන සංවිධානවල කට්ටියක්. වැඩි දෙනෙක් බෞද්ධයන් නොවන අය. මේ අය ගිහිල්ලා ඉතාමත් අසෝබන ලෙස දළදා හාමුරුවෝ ඉදිරිපිට ගහමරා ගන්න තත්වයකුත් නිර්මාණය කළා. පෙළපාලි ගියා. එතුමන්ලා හිතනවා ඇති ඒක ලිප්ටන් වටරවුම කියලා. ලිප්ටන් වවටරවුම අසල වහලා තියෙන පාරක් අරින එක හරි. නමුත් දළදා මාලිගාව කියන්නේ බෞද්ධ අබෞද්ධ කවුරුත් පිළිගත යුතු දෙයක්. මේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ ලෙස සැලකෙන වැදගත් සිද්ධස්ථානයක්. ඒ පූජනීය වැදුම් පිදුම් ලබන ස්ථානයට යාබදව පාරක් තිබෙනවානම් ඒ පාර විවෘත කළාම රථ වාහනවල සද්ද, ඒවායින් එන දුම් ආදියෙන් ඒ පූජනීය ස්ථානයට වන අගතිය ගැන මේගොල්ලෝ සලකා බලන්නේ නැහැ. මහනුවර නගරයේ තිබෙන වායු දූෂණයට එකම හේතුව මේ පාර වැසීම කියලා කියනවානම් ඒක විහිළුවක්. මේ නැති ප‍්‍රශ්නයක් ඇති කර අද දළදා මාලිගාව ඉදිරිපිට තිබෙන පාර අරින්න කියලා පෙළපාලි යන්නේ මේ ආණ්ඩුව හදන්න කඬේ ගිය ‘සිවිල් සමාජ සංවිධාන’ කියලා හදුන්වන එන්ජී ඕ සංවිධාන ජාලයේ කප්පිත්තො ටික. ඇත්තටම ගත්තොත් ඒගොල්ලොත් මේ ආණ්ඩුවේම කොටසක්. මේ ආණ්ඩුවේම එක්තරා ආකාරයක ‘ටූල්’ එකක්. ඉතින් ඒ අය තමයි දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කරන්න කියලා කියන්නේ. අපි විශ්වාස කරනවා එය නොකළ යුතුයි. වතිකානුව ඉදිරිපිට පාර වහලා තියෙනවානම්,ලෝකයේ් බොහෝ පූජනීය ස්ථාන ඉදිරිපිට තිබෙන පාරවල් ඒ පූජනීය ස්ථානයේ වැදගත්කම සලකලා වසා දමා තිබෙනවානම් මේ මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් යන පාර විවෘත කිරීම කිසිසේත් නොකළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.’’

ප‍්‍රශ්නය:- ෆෝන්වලින් මාධ්‍ය සංදර්ශන පවත්වන නියෝජ්‍ය ඇමති ඔබතුමාට එල්ල කරන චෝදනා ගැන මොකද කියන්නේ?

පිළිතුර  – ‘‘කොළඹ ඉන්න සමහර වයසක කාන්තාවන් සතුටු කරන්න පිරිමි ගණිකාවන් හැටියට වැඩ කරපු මහත්වරු ඉන්නවා දැන් දේශපාලනයට ඇවිල්ලා. ඒ පිරිමි ගණිකාවන් හිතනවා දේශපාලනයත් ඒ වගේ නාඩගමක් කියලා. අපිට කමක් නැහැ කවුරුහරි නැතිබැරිකමට පිරිමි ගණිකාවක් හැටියට ඇවිල්ලා ඒ කවුරුහරි සන්තර්පණය කළාට. ඒවා ගැන හොයන්න අපිට වෙලාවක් නැහැ. අපිට අපේ වැඩ තිබෙනවා. හැබැයි ඒ පිරිමි ගණිකාවන් විදියට වැඩ කරලා ඉතිහාසයක් තියෙන මහත්තුරුන්ට අපි කියන්න කැමතියි, ‘නිකං හොරු අල්ලනවෝ, හොරු අල්ලනවෝ කියලා මිනිස්සුන්ගේ ඔළුවලට වසුරු හෙළන්නේ නැතුව තමන් රට බාරගත්තානම් රට හදලා පෙන්වන්න, රටේ වැඩක් කරලා පෙන්වන්න, රටට සංවර්ධනයක් කරලා පෙන්වන්න. දියුණුවක් කරලා පෙන්වන්න, ප‍්‍රගතියක් ගෙනල්ලා පෙන්වන්න’ කියලා. අද මොකුත් නැහැ. හැම අංශයකින්ම රට කඩා වැටිලා. පෙන්නන්න ප‍්‍රවෘත්තිත් නැහැනේ. දැන් බලන්නකෝ අපේ ආණ්ඩුව කාලේ පත්තරයක් ගත්තත් හැමදාම විවෘත කිරීම්, වැඩ ආරම්භ කිරීම් මහා විශාල ප‍්‍රමාණයක් තිබුණා. අද කියන්න දෙයක් නැහැ. කෙරෙන වැඩක් නැහැ. දැන් අඩු ගානේ පශු සම්පත් ඇමති හරකෙක්වත් ගෙනල්ලා තිබෙනවාද?, කිරි ටිකක්වත් වැඩි කරලා තිබෙනවාද? ඒ මෙකුත් නැහැ. ඉතින් මේගොල්ලෝ හිතන් ඉන්නේ දේශපාලනය කියන්නෙත් අර පිරිමි ගණිකා වෘත්තිය වගේ දෙයක් කියලා. ඇත්තටම මට පෙනෙන්නේ ඔහු තාම කරන්නෙත් ඒ වෘත්තිය තමයි.’’

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

colombotoday

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

colombotoday

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

colombotoday

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday