Colombo Today Local News

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය හදිසියේ තනතුරින් ඉවත් කිරීම පිටුපස වයඹ පළාතේ දුෂ්කර ආසනයක් නියෝජනය කරන දේශපාලන බලවතකු සිටින බව රේගු වෘත්තීය සංගම් පවසයි. ප්‍රදේශයේ බොහෝ අර්බුදකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි කියන මෙම දේශපාලන බලවතා එ.ජා. පෙරමුණු රජයේ හවුල්කාර පයක ප්‍රබලයෙකි.

වසරකට රුපියල් මිලියන සිය ගණනක බාල වර්ගයේ කරුංකා සහ ගම්මිරිස් රටවල් ගණනාවකින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා නිෂ්පාදන ලෙස ලේබල් ගසා වැඩි මිලට බදු සහන යටතේ ඉන්දියාවට අලෙවි කිරීමේ ජාවාරමක් මෙකී දේශපාලන බලවතාගේ සමීපතමයන් කිහිපදෙනෙක් පවත්වාගෙන ගොස් ඇත. එහෙත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඊට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළාය. ඒ ගැන උරණ වූ දේශපාලන බලවතා මෙන්ම එතනෝල් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ ජාවාරම්කරැවෙක්ද ඇය එම තනතුරින් ඉවත් කිරීම සඳහා රජයට දැඩි ලෙස බලපෑම් කළ බව වෘත්තීය සංගම් වැඩිදුරටත් කියති.

මෙම මාරුව සඳහා කැබිනට්ටුවට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ සටහනක් එවූ ජනාධිපතිවරයාද මෙකී මාරුවට හා අනුප්‍රාප්තිකයා ලෙස විශ්‍රාමික නාවික හමුදා රියර් අද්මිරාල් ශමීල් ප්‍රනාන්දු මහතා පත්කිරීමටද එකඟ නොවන බව සඳහන් කළේය.

එහෙත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වහා තනතුරින් ඉවත්කොට මුදල් අමාත්‍යංශයේ ආදායම් සුපරීක්ෂණ ඒකකයට මාරුකරනු ලැබීය. ඒ සමඟ රේගු වෘත්තීය සංගම් රජයේ තීරණයට එරෙහිව දැඩි වෘත්තීය අරගලයක් ඇරඹීය. දැනටත් ඔවුන් අකුරට වැඩ ව්‍යාපාරයක නිරතව සිටී.

හටගත් අර්බුදකාරී තත්ත්වය නිසා ඇයගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කිරීමට යෝජනා වූ රියර් අද්මිරාල්වරයා වෙනුවට වැඩබලන රේගු ප්‍රධානියා ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා පත් කැරිණි. වෘත්තීය සංගම් ඔහුගේ පත්වීමද අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.

ඉතා දක්ෂ දිසාපතිවරියක් ලෙස වව්නියාව හා මඩකලපු දිස්ත්‍රික්කවල සේවය කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු දෙපාර්තමේන්තුවේද දක්ෂ ලෙස සේවය කළාය. දැන් ඇය මාරුකර ඇත්තේ බරපතළ රාජකාරියක් නොමැති මුදල් අමාත්‍යංශයේ ආදායම් සුපරීක්ෂණ ඒකකයටයි. මෙයට පෙර හිටපු දේශීය ආදායම් කොමසාරිස්වරියන්ව සිටි වසන්ති මංචනායක මහත්මියත් කල්‍යාණි දහනායක මහත්මියත් තනතුරුවලින් ඉවත් කෙරුණේ මෙකී ආදායම් සුපරීක්ෂණ ඒකකයට ස්ථාන මාරු කිරීමෙනි.

Related posts

මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා – රුවන් විජයවර්ධන

colombotoday

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday