Colombo Today Local News

පොහොය දිනවල උපකාරක පංති නවතයි

පොහොය දිනවල උපකාරක පංති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පංති ගුරුවරුන් කැමැත්ත පළ කර තිබේ.

උපකාරක පංති ඉරිදා උදය කාලය තුළ නතර කිරීම සඳහා පවතින ඉඩකඩ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ද ගුරුවරුන් එකඟතාව පල කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් නයින්ටීන් නිසා වසා දැමුණු උපකාරක පංති යළි ඇරඹීමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (29)දින පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පංති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව මෙහිදි දේශකවරුන් පෙන්වාදී තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාල පරාස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව අනුමැතිය ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට මාස පහකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකිවීම හේතුවෙන් අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුරුවරුන් දෙමව්පියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීමට යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීම පිළිබඳව ගුරුවරුන් දෙමව්පියන් සහ සිසුන් ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදී කරුණු ඉදිරිපත් කර ඇති බැවින් විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස විභාග කොමසාරිස්වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිවරයා මෙහිදි එකඟතාව පළ කර ඇති අතර උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම, සෞඛ්‍ය නිර්දේශයන්ට යටත් කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටලුවලට කඩිනමින් විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදාළ ගැටලු විමර්ශනය කොට පිළියම් හඳුනාගැනීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටලුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට මෙහිදි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

උපාධිධාරී රැකියා වැඩසටහනේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමුකිරීම කෙරෙහිද අවධානය යොමුකළ ජනාධිපතිවරයා දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරින් සඳහා උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම පිළිබඳව ද අවධානය යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පහල තනතුරු සඳහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම් ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

Related posts

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

අනුර පරද්දන්න සජිත්ට බෑ ජනාධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Admin

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday