Colombo Today Local News

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව විසින් ගෙනගිය ඇල්මැරුණු ප‍්‍රතිපත්තියද ‘නොවැම්බර් දහසය ජයග‍්‍රහණය’ සඳහා වන ප‍්‍රධාන සාධකයක් ලෙස ක‍්‍රියා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා, ඊළඟ ජනාධිපති බවට, ජනතාව විසින් නම් කරන ලද්දේ යහපාලනය පැමිණ වසරක් ගතවන්නට පෙරය. ජාතික ආරක්ෂාව කෙරෙහි ඇතිකරගෙන තිබූ දියාරු ප‍්‍රතිපත්තිය හේතුවෙන්, පාස්කු ප‍්‍රහාරය වැනි සියලූ තොරතුරු නොසඟවා ලැබුණු, අතිශයින් දුර්වල, ත‍්‍රස්ත ප‍්‍රහාරයක් වළක්වා ගැනීමට යහපාලන ආණ්ඩුවට නොහැකි විය. එසේම කොස්ගම ආයුධ ගබඩාව ගිනි ගැනීම, දේශපාලන පළිගැනීමක් ලෙස සහ දෙමළ වර්ගවාදය සතුටු කරනු සඳහා යුද ජයග‍්‍රහණයට උර දුන් රණවිරුවන්ගෙන් පළි ගැනීම ආදිය ද යහපාලනයෙන් ඇති පදමට සිදුවිය. මේ සියල්ල හේතුවෙන් ජාතික ආරක්ෂාව ජාතිය විසින් මුදුන් න්‍යාය පත‍්‍රය බවට පත් කර ගත් අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා පදනම් සාධකයක් බවට එය පත්විය. මෙතෙක් පැවති ජනාධිපතිවරණ ඉතිහාසයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා, ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනා හමුදා ඉතිහාසයක් සහිත වෘත්තිමය පදනමකින් ඉදිරිපත් වූවෝ වෙති. එසේ වුවත් සන්නද්ධ සේනා විධායක සහිත ජනාධිපති ධුරය සඳහා පත්වීමේ වරම උදාවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණය.

 දිවුරුම් දීම සංවිධානය යුද හමුදාවට

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වී පැය කිහිපයක් යනවිට සිය දිවුරුම් දීම සඳහා අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑ රදුන් අභියස භූමිය සුදුසු බව අභිනව ජනාධිපතිවරයා තීරණය කර තිබුණි. ඒ සඳහා අවශ්‍ය ඉදිකිරීම් භාර වූයේ ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙතය. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග නව ජනාධිපතිවරයාගේ සම්බන්ධය ඇරඹී තිබුණේ යුද හමුදා නිලධාරියෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සේවය කරමින් සිටින ලද සමයේ සිටය. මේ හේතුවෙන් සිය දිවුරුම් දීම සංවිධානය ජනාධිපතිවරයා විසින් විශ්වාසවන්ත ලෙස යුද හමුදාවට පවරා සිටියේය.

ගෝඨාභය සහ ශවේන්ද්‍ර ඉතිහාසය

1987 දියත් කරන ලද, ශ‍්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප‍්‍රථම, ප‍්‍රධාන මෙහෙයුම වන වඩමාරච්චි මෙහෙයුම නමින් ජනප‍්‍රිය වී ඇති විමුක්ති මෙහෙයුම සඳහා පළවෙනි බල ඇණිය ගජබාහි, ඛණ්ඩ භාර නිලධාරියෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. එම ක‍්‍රියාන්විතයේ අවසාන දිනයේ, ත‍්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයකින් ශවේන්ද්‍ර සිල්වා දරුණු ලෙස තුවාල ලැබුවේය. එහිදී ශවේන්ද්‍ර සමග සිටි කපිතාන් රාජ් නවරත්න එතැනදීම මිය ගිය අතර රණබිමේ සිටින සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තා සේ, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වා, යුද භූමියෙන් ඉවත් කරගන්නා ලද්දේ, වඩමාරච්චි මෙහෙයුම් නියමුවෙකුව සිටි, මේජර් ගෝඨාභය රාජපක්ෂ විසිනි. ශවේන්ද්‍ර සිල්වා යනු මේජර් ගෝඨාභය රාජපක්ෂගේ ඇජුටන් වරයා හෙවත් විධායක අධිකාරිවරයාය. මෙය ජනාධිපතිවරයා වෙත සිය ලේකම්වරයා මෙන් වූ සම්බන්ධයකි. ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ පළමු යුද හමුදාපතිවරයා වූ ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ලද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට යුද හමුදාපතිවරයා බවට පත්වීම විශේෂ කාරණයක් විය.

 කමල් ගුණරත්න සාධකය

jathika2

එසේම යුද හමුදා ඉතිහාසයේ වර්ණවත් නාමයක් වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නව ආරක්ෂක ලේකම් වරයා බවට පත්විය. ඒ අනුව ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ හමුදාපති යන තිදෙනාම ගජබා රෙජිමේන්තුවේ නිර්මාණ බවට පත්ව සිටියහ. එසේම වන්නි මානුෂික මෙහෙයුමේ 53 සේනාංකය සහ 58 සේනාංකය භාරව ක‍්‍රියා කළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙවර ආරක්ෂක ලේකම් සහ හමුදාපති ලෙස හමුවී ඇති අතර එම මෙහෙයුමේ තීරණාත්මක කාර්යය භාර්යය ඉටු කරන ලද එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනාගේ නායකයා ලෙස පත්ව තිබීම ද විශේෂත්වයකි. මෙසේ දීර්ඝ කාලයක් අන්‍යොන්‍ය අවබෝධයෙන් සිටි, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජයග‍්‍රාහී ඉතිහාසයක් සහිත පිරිසක් වෙත ජාතික ආරක්ෂාව භාරවීම සුබවාදී තත්ත්වයක් බව කිව හැකිය.

 නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම සහ වැඩ භාරගැනීම යන ඉසව් ද්විත්වයම සංවිධානය කිරීම භාරවූයේ යුද හමුදාව වෙතය. නව ආරක්ෂක ලේකම් ලෙස පත්වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙතද වෙනදා මෙන් නොව හමුදා සම්මාන මුරයක් ලබාදී ආරක්ෂක අමාත්‍යංශය වෙත පිළිගැනීම විශේෂත්වයක් විය.

 අභිනව ජනාධිපතිවරයා සහ නව ආරක්ෂක ලේකම්වරයා යනු මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය පරිචයක් සහිත චරිත බව අවිවාදිතය. ප‍්‍රභාකරන් මරා දමන ලද සේනාංකයේ ප‍්‍රධානියා ලෙස සිටි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වැනි රණවිරුවෙකු වෙත අවම තරමින් යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වැනි තනතුරක් හෝ ලබා නොදෙන්නට තරම් යහපාලන ආණ්ඩුව, එල්ටීටීඊ ඩයස්පෝරාවේ පදයට නටා තිබුණි. යුද හමුදාව තුළ සැපයුම් වැනි පරිපාලන කාර්යයන් කරන ලද හමුදාවෙන් ඉවත්ව ගිය පිරිස් වෙත හමුදාපති තනතුරු ලබාදුන් යහපාලනයට අවසානයේ සිදුවූයේ ”පාස්කු ප‍්‍රහාරය” වැනි කළු පැල්ලම් රටට ඉතිරි කර දීමටය.

 යුද හමුදාවේ සේවා දීර්ඝ…

 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යුද හමුදාපතිවරයා වෙත 2021 දක්වා කාලයටම සේවා දීර්ඝයක් ලබාදී තිබූ අතර මෛත‍්‍රිපාල මහතා සිය ධුරයෙන් සමුගැනීමට ආසන්න අවස්ථාවේ යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ වෙත සේවා දීර්ඝයක් ලබා දී තිබුණි. මේජර් ජෙනරාල් ලියනගේ විසින් ජනාධිපතිවරයාගෙන් සේවා දීර්ඝයක් ඉල්ලා සිටීම හේතුවෙන්, සාමාන්‍යයෙන් මාණ්ඩලික ප‍්‍රධානියෙකු වෙත ලබාදෙන මාස හයක සේවා දීර්ඝය ඔහු වෙත ලබා දී තිබුණි. හමුදාපතිවරයා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත්කරන ලද මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වෙත යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි වීම සඳහා තිබුණු අවස්ථාව මේ නිසා අහිමි වී ගොස් තිබේ.

 ස්වෙච්ඡා බල සේනාවට සහ වන්නියට නව ආඥාපතිවරු…

 යුද හමුදාවේ ප‍්‍රධාන තනතුරු කිහිපයක වෙනස්කම් පසුගිය කාලයේ සිදු විය. වන්නි ආඥාපති ලෙස කටයුතු කරන ලද ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුද හමුදාවේ සිව්වෙනි ස්ථානය වන ස්වෙච්ඡා බලසේනාධිපති ලෙස පත්විය. යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රධාන මාණ්ඩලික ලෙස සේවය කළ මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, නව වන්නි ආඥාපතිවරයා ලෙස පත්විය. ඔහුගෙන් හිස්වූ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රධාන මාණ්ඩලික තනතුර සඳහා, වන්නි මානුෂිය මෙහෙයුමේ කටයුතු කළ දක්ෂ නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, යුද හමුදාපතිවරයා විසින් පත් කර තිබුණි. යුද හමුදාවේ වැදගත් තනතුරක් වන පුහුණු අධ්‍යක්ෂ ධුරය සඳහා රණබිමේදී සිය එක් අතක් අහිමි වූ ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් බි‍්‍රගේඩියර් නිශාන්ත හේරත් පත් කිරීමටද යුද හමුදාපතිවරයා කටයුතු යොදා තිබුණි. මෙහි සුවිශේෂත්වය වනුයේ ආබාධිත රණවිරුවෙකු වෙත, මෙවැනි යුද හමුදාවේ වැදගත් ස්ථානයක් හිමිකර දීමය.

 කුඩු සටන සහ සිහිවටන කඩු

jathika3

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය තනතුරෙන් නික්ම යෑමට පෙර නව මේජර් ජෙනරාල්වරු දස දෙනකු පත්කරන ලද අතර ඔවුන් සහ යුද හමුදාපතිවරයා අතර හමුව නව යුද හමුදා මූලස්ථානයේදී පසුගියදා සිදුවිය. මෙවන් උත්සව අවස්ථාවන්හිදී මේජර් ජෙනරාල් වරු වෙත කඩු තාවකාලික ලෙස ලබා දෙන ඒවා වූ අතර, අදාළ උත්සවය නිමාවීමෙන් අනතුරුව ඒවා යළි යුදහමුදා ගබඩා වෙත යැවීම සම්ප‍්‍රදාය විය. එය වෙනස් කරමින් නව හමුදාපතිවරයා විසින් සිහිවටනයක් ලෙස නව මේජර් ජෙනාරාල්වරුන් වෙත ස්ථිර අසිපත් ප‍්‍රදානය කිරීම හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට සිදුවිය. මෙසේ අභිනවයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් වන ශ‍්‍රී ලංකා ඉංජිනේරු බළකායට අයත් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ. සී.

 ගමගේ, ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ. එන්. එස්. කොටුවේගෙදර, ශ‍්‍රී ලංකා පාබල හමුදාවට අයත් බුත්තල ස්ථාපිත නිලධාරි ප‍්‍රගමණ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ජේ. ජයවීර, ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ. එච්. පී. පී. ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකා පාබල හමුදාවට අයත් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්. ඞී. විජේසුන්දර, ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ. එස්. හේවාවිතාරණ, ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී. ඒ. එල්. රත්නායක, ගැමුණු හේවා බළකායට අයත් 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්. එස්. වඩුගේ සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායට අයත් කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ. කේ. ඒ. බී. ගුණරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද හමුදාපති කාර්යාලයේ පැවති එම අවස්ථාවට එක්වූහ.

 නව ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තියක් වන මතින්, සහ පාතාල ලෝකයෙන් තොර රටක් යන සංකල්පය සඳහා මේ සතියේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව ක‍්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයා විසින් යුද හමුදාව වෙත දෙන ලද උපදෙස් ප‍්‍රකාරවය. යුද හමුදාපතිවරයා විසින් සිය බුද්ධි අංශ ප‍්‍රධානීන් කැඳවා මේ සඳහා ඉක්මන් ක‍්‍රියාමාර්ග අනුගමනය කළ අතර ත‍්‍රස්තවාදය අවසන් කරන ලද තිදෙනකු රටේ මුල් නිලතල හොබවන අවස්ථාවක, ඊළඟ යුද්ධය වන මතින් තොර රටක් බිහිකිරීම පිළිබඳ බලාපොරොත්තු ජනතාව හමුවේ තිබේ.
ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

අවසාන මොහොතේ වසන්ත සිරගත කිරීමේ තැතක්…


 රණවිරු දඩයම තවදුරටත් දියත් කරමින් ජනාධිපතිවරණය සඳහා දේශපාලන තුරුම්පුවක් ලෙස එය භාවිත කිරීමට රහස් පොලිසිය විසින් දරන ලද උත්සාහයක් ඡන්ද උණුසුම නිසා මැකී ගොස් තිබුණි. රහස් පොලිසිය විසින් ගොතන ලද රසවත් ජවනිකා ඇතුළත්, ත‍්‍රාසය භීතිය පිරී තිබූ, නාවික හමුදාව විසින් එකොළොස් දෙනකු පැහැරගෙන යෑමේ කතාවේ තව පරිච්ෙඡ්දයක් පසුගියදා එළිදැක්වීම සඳහා සූදානම් කරගෙන තිබුණි. එහි අරමුණ වූයේ අද්මිරල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සිරගත කිරීමය.

 යහපාලන පාලන කාලය තුළ, නීතිය නවමින් රාජපක්ෂ දඩයම දියත් වූයේ, ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ උගුලකට සිරකර ගැනීමය. ඇවන්ගාර්ඞ්, එක්නැලිගොඩ, සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් වෙත පහරදීම, වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියකදී සිරකරුවන් ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම යන සිද්ධි සමුදාය සඳහා දේශපාලන පළිගැනීම් ඔස්සේ නීතිය හතර අතට වනමින් රහස් පොලිසිය විසින් විමර්ශන සිදු කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ සිරගත කිරීමේ අධිෂ්ඨානය සහිතවය. එල්ටීටීඊ ඩයස්පෝරාවේ වුවමනාව සහ දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව ගෝඨාභය රාජපක්ෂගේ නම කෙසේ හෝ සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය දියත් කරනු ලබන ප‍්‍රධාන මෙහෙයුමක් බවට පත්වන්නේ, එකොළොස් දෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියය. සාමාන්‍ය අපරාධයක් යුද අපරාධයක් බවට පත් කිරීම සඳහා අර්ථකථන සපයමින් රහස් පොලිසියේ ‘තුන් රැල’ විසින් නාවික හමුදාවේ සිටි ද්‍රෝහීන් සහ මිනිස් ජාවාරම්කරුවන් පිරිස් සම්බන්ධ කර ගනිමින් මෙම සිද්ධිය සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති ඞී. කේ. පී. දසනායක, සුමිත් රණසිංහ ඇතුළු නාවික රණවිරුවෝ දහ නව දෙනකු වෙත සිර බත උරුම කර දුන්නේය. මේ සෑම අත්අඩංගුවට ගැනීමක් අවසානයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සිරගත කර ගැනීමේ අවශ්‍යතාව රහස් පොලිසියට තිබූ අතර එම සිද්ධි දාමය සඳහා නිමාව ඔවුන් විසින් සැලසුම් කර තිබුණේ,

 ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමය. වසර පහක් පුරා මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ නිමා නොකළ රහස් පොලිසිය, ජනාධිපතිවරණය කට ළඟට පැමිණි සැණින් දෙමළ ජනතාව ප‍්‍රකෝප කරවනු සඳහා ‘අහිංසක දෙමළ සහ මුස්ලිම් දරුවන් එකොළොස් දෙනකු මරා දැමීමේ කතාවක්’ ලෝකයට මවා පෑමට අද්මිරල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම පිණිස සැරසුනේය.

 නොවැම්බර් 6 වන දින නීතිපති දෙපාර්තමේන්තුව වෙත රහස් පොලිසිය විසින් වසර පහක් පුරා නිමා නොවූ සිය වාර්තාව බාර දෙනු ලැබුවද එම ලේඛන අධ්‍යනය කිරීමෙන් පසුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩට, කොමදෝරු ඞී. කේ. පී. දසනායකට හා කොමාන්ඩර් සුමිත් රණසිංහට එරෙහිව නඩු පැවරීමට සාධාරණ සාක්ෂි නොමැති නිසා සහ බොහෝ සාක්ෂි ගොතන ලද ඒවා බව පවසමින් ප‍්‍රියන්ත නාවාන මහතා විසින් ඒ සඳහා නඩු පැවරීම කළ නොහැකි බව දන්වා සිටීම හේතුවෙන් රහස් පොලිසියේ නාඩගම කඩා වැටෙන්නට විය.

 එසේ වුවද නොවැම්බර 11 වෙනිදා මෙම නිලධාරීන් තිදෙනා ඇතුළු තවත් නාවික හමුදාවේ පිරිසක් සඳහා සඳහා එක දිගට නඩු අසන විශේෂ මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග කරන ලෙසට ඉල්ලා නීතිපති දප්පුල ද ලිවේරා විසින් අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් සිදු කර තිබුණි.

 ඒ සමගම නොවැම්බර් 13 දින කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වෙත නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විනාඩි 45 ක ආයාචනයක් කරමින් පසුදින අද්මිරල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

 එම ඉල්ලීම මහෙස්ත‍්‍රාත් වරයා විසින් ඉවත දැමීමත් සමග රහස් පොලිසියේ නාටකය වැරදී ගියේය. 

– මනෝජ් අබයදීර –

Related posts

පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලා

colombotoday

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

චීනෙටත් නැති ප්‍රශ්නයක් රටේ මාධ්‍යයට ඇති වෙලා

Admin

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

“උසනම් සිකුරුටි, මිටිනම් කම්කරු“ රස්සා පොළෙන් පසු මෙන්න ආවා “නිවාස ඉන්ටවීව්“

colombotoday