නවම් පොහොය බුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්.
මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් – මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.
සැරියුත් – මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවන් පැහැදිලි කළ සේක.
සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක.
තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක.
ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය යනු භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය.
ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත.
ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.