අයවැය විවාදයේ බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා (16) ඊයේ කළ කතාව.
බුද්ධාගමට දෙන ප්‍රමුඛස්ථානයට අත තිබ්බ හැටි මෙන්න
ගරු අගමැතිතුමා මීට මාස දෙකකට පෙර වේදිකාවක් වේදිකාවක් ගාණේ ප්‍රකාශකල දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තියට අපි නම් අත තියන්නේ නෑ කියන කතාව. කිරිඇල්ල ඇමතිතුමා මහනායක හිමිවරු හමුවෙලා මේ ප්‍රතිඥාව ලබා දුන්නා. දැන් බැලින් නම් අත විතරක් නොවෙයි අත් දෙකයි කකුල් දෙකයි හතරම තියලා ඒ මදිවට ඔලුවත් ගහන්න තමයි හදන්නේ.
ඇයි අපි එහෙම කියන්නේ. අපි මුලින්ම බලමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවෙනි වගන්තියෙන් මොක්කද කියන්නේ කියලා.
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ මේ පිළිබදව දක්වා ඇති සමරූපී වගන්තිය වන්නේ 8 වන වගන්තියයි. එහි නව වන වගන්තියට විකල්ප දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. පලමු විකල්පයේ ප්‍රශ්න තිබුණත් කාලය ඉතිරි කරගන්න අපි එක පැත්තකින් තියමු. වඩාත් භයානක දෙවන විකල්පය බලමු.
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමන ලබන අතර ඒ අනුව වෙනත් සියලු ආගම් හා විශ්වාස සඳහා වෙනස්කමකට භාජනය කිරීමෙන් තොරව ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සියලු තැනැත්තන් ගේ මූලික අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. “ ලෙසයි එම වගන්තියේ සදහන් වන්නේ.
මේකෙ මුලින්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමනවා. හරිම ෂෝක්. සාධූ සාධූ. හැබැයි දෙවනුව සියලුම ආගම් වෙනස්කමකට භාජනය නොකළ යුතු බව කියනවා. කිසිම ආගමකට වෙනස්කමක් නොකිරීමට නම් බුද්ධාගමට පිරිනැමූ ප්‍රමුඛස්ථානය අනෙකුත් සියලු ආගම් සහ විශ්වාසවලට ද පිරිනැමිය යුතුයි. දකුණතින් දෙන දේ වම් අතින් අරගෙන තියෙනවා.
ඒ අනුව බුද්ධාගම සමග සියලුම ආගම් පමණක් නොව අනෙකුත් ඇදහිලි ද එක සමාන වෙනවා. එතකොට විවිධ කල්ලි නිකාය සහ මූලධර්මවාදීන් පවා බුදු දහමේ මට්ටමට ඔසවා තැබීමක් මේ වගන්තියෙන් කරලා තියෙනවා. එතකොට බුද්ධාගමට පිරිනැමූ ප්‍රමුඛස්ථානය නිකම්ම අහිමි වෙනවා.
වත්මන් ව්‍යවස්ථාවේ වගන්තිය හරිම සරලයි. පල් හෑලි වැල් වටාරම් සහිත මේ දිගු වගන්තියෙන් කරලා තියෙන්නේ බුද්ධාගමට මෙතෙක් ලබා දුන් ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම වචන අතරේ සඟවා තැබීමක් පමණයි.
බුදු දහම බේරාගත යුත්තේ කාගෙන්ද ?
මේ ආණ්ඩුවේ නායකයින් නිතර පවසන දෙයක් තිබෙනවා. ඒ තමයි බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙන නමවෙනි වගන්තිය වෙනස්කරන්නේ නෑ කියන කතාව.
දැන් මේ නමවෙනි වගන්තියෙන් බුද්ධාගමට ලබාදුන් රැකවරණය ප්‍රමාණවත් නෑ මේක මීට වඩා වැඩි දියුණු කර දෙන්න කියලා මහනායක හිමිවරු ඉල්ලා තියෙනවද ? නැහැ. බෞද්ධ සංවිධාන නම වෙනි වගන්තිය ශක්තිමත් කරන්න කියලා ඉල්ලා තියෙනව ද? නැහැ. අඩුම ගණනේ වෙනත් ආගමික නායකයින් මේ වගන්තියේ වෙනසක් ඉල්ලනවද ? නැහැ.
එහෙම නම්, ආණ්ඩුවට අවශ්‍ය වන්නේත් බුදු දහමේ ප්‍රමුඛස්ථානය රැක ගැනීමට නම්, අනෙකුත් සියලුම අයටත් අවශ්‍ය බුදු දහමේ ප්‍රමුඛස්ථානය රැක ගැනීමට නම් පද පෙරලි කරමින් නමවන වගන්තිය වෙනස් කරන්නේ ඇයි ?
බුද්ධ ශාසන ඇමතිතුමන්ට මෙහි වෙනසක් කිරීමට අවශ්‍ය නැති බව මම හොදා කාරවම දන්නවා. එතුමන්ට අපේ විශාල ගෞරවයක් තියෙනවා. මම හිතන්නේ නැහැ අගමැතිතුමන්ටත් එහෙම අවශ්‍යතාවක් තියෙනවා කියලා. හැබැයි මේ ඉන්නේ නිල අගමැති. වැඩේ කරණ අගමැති කෙනෙක් ඉන්නවා එම් ඒ සුමන්තිරන් කියලා. හැබැයි එතුමන්ට නම් බරපතල වුවමනාවක් තියෙනවා මේ නමවෙනි වගන්තිය වෙනස් කර ගන්න. එතුමන්ගෙන් බුද්ධාගම බේරගන්න තමයි අද තමුන්නාසේලාට සිදු වෙලා තියෙන්නේ. මේ සටනේ ඉදිරියට එන්න කියලා මම ආරාධනා කරනවා බුද්ධශාසන අමාත්‍යතුමන්ට.
ඒ වගේම මම ආණ්ඩු පාර්ශවයෙන් පිළිතුරු කතාවේදී ගරු බුද්ධශාසන අමාත්‍යතුමා ගෙන් ප්‍රතිඥාවක් බලාපොරොත්තු වෙනවා මේ රටේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන්. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නම වන වගන්තිය වෙනස් කරන්නේ නැහැ, මේඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විකල්ප දෙකම ප්‍රතික්ෂේප කරලා නම වන වගන්තිය එලෙසින්ම තබනවා” කියන ප්‍රතිඥාව තමුන්නාන්සේ ලබාදේවි කියලා අපි ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.
නරියාට කුකුල්ලු බාර දීම
බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීම ව්‍යවස්ථාවෙන් වගකීමක් ලෙස බාර ගෙන ඇති ආණ්ඩුව පසුගිය කාලයේ ඒක කරපු විදිහ කොහොමද කියලා අපි පොඩ්ඩක් විමසා බලමු.
පුරාවස්තු සහ කෞතුකාගාර විෂය තිබෙන්නේ පළාත් සභා විෂය ලැයිස්තුව යටතේ. පළාත් සභාවේ අය පුරාවස්තු වල ඇති වැදගත්කම දැකලා මධ්‍යම ආණ්ඩුවට කියලා මධ්‍යම ආණ්ඩුව මේක ජාතික වශයෙන් වැදගත් කියලා ගැසට් මගින් ප්‍රසිද්ධ කලොත් පමණමයි පුරාවස්තු මධ්‍යම ආණ්ඩුවේ භාරයට එන්නේ. මේක නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක්. මේ ක්‍රමවේදය නිසා පුරාවස්තු කණින ස්ථානයේම විනාශවීමේ අවදානමක් තියෙනවා. පුංචි දරු පැටව් මෙලොව එලිය දකින්නටත් පෙර කළල අවස්ථාවේම ගබ්සා කරන ගබ්සා මධ්‍යස්ථාන බවට පුරාවිද්‍යා කැනීම් පත්වීමේ අවදානමක් පුරාවිද්‍යා විෂය පළාත් සභාවට භාර දීම නිසා සිදුවෙනවා. පළාත් සභා ලැයිස්තුවේ “25.2. ජාතික වැදගත්කමකින් යුතු යැයි පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියක් මඟින් හෝ නීතියක් යටතේ හෝ ප්‍රකාශයට පත්කරන ලද ඒවා හැර පෞරාණික සහ ඓතිහාසික ස්මාරක සහ වාර්තා.” ලෙස දැක්වෙනවා. එහෙම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා ලැයිස්තුවේ 25.2. කියන අයිතමය යටතේ පුරාවස්තු කැනීම් පිළිබඳ නීත්‍යානුකූල බලය තිබෙන්නේ පළාත් සභාවටයි. මේ වනතුරු දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිල වශයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා නැහැ. ඉඩම් බලය දීලා නැහැ. පොලිස් බලයත් දීලා නැහැ. අන්න ඒවගේ තවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමධ්‍යගත කරලා තවම දීලා නැහැ. හැබැයි 13 වන සංසෝධනය ඉක්මවා බලය බෙදන්න අවශ්‍යයි දහතුන්වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමුන්නාන්සේලා විසින් ගොඩ නගපු සංවාදයක් තියෙන අවස්ථාවකයි අපි මේ කාරණය මතු කරන්නේ.
දෙමළ බෙදුම්වාදීන්ගේ ඇසේ ඇණුනු කටුව
ඇයි මේ පුරාවස්තු විනාශ කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් සිදුවන්නේ. උතුරු නැගෙනහිර දමිළ නිජබිම ය කියන සංකල්පය ලෝකය පුරා දෙමළ බෙදුම්වාදීන් විසින් වපුරාගෙන යන අතරේ උතුරු නැගෙනහිරින් මතුවන මතුවන සෑම පුරාවස්තුවක්ම නිහඬව ලෝකයට කියන්නේ උතුරේ තිබුණේ සිංහල ශිෂ්ටාචාරය බවයි. ඒ නිසා අද දෙමළ බෙදුම්වාදීන්ගේ ඇසේ ඇණුනු කටුව බවට මේ පුරාවස්තු පත්වෙලා තිබෙනවා.
මේ නිසා තමයි ඉතාම සැලසුම් සහගතව මේ පුරාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා අවශ්‍ය මතවාදී නායකත්වය දුන්නේ අපත් සමඟම ශ්‍රේෂ්ඨාධිකරණයෙහි එකට වැඩකරපු උතුරේ හිටපු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතායි. එතුමා වැඩබැරි මහ ඇමති කෙනෙක්. පළාත් සභාව යටතේ තියෙන විෂයයන් 36 යටතේ උතුරට කිසිම දෙයක් කරන්න බැරිවුණා. වෙන් කරන මුදල් ආපසු හරවා එව්වා. හැබැයි තමුන්ගේ නොහැකියා වසාගන්න ජාතිවාදී අන්තවාදී විසබීජ උතුරේ වපුරමින් ඒ කාලය ගත කළා. එහි ප්‍රතිඵලයක් විදිහට උතුරේ බුදුපිළිම ඉවත් කරන්න ඕනෑ යැයි කිව්වා.
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහවිහාර භූමිය ජනවාරි 14 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු තුන්දෙනෙක් බලහත්කාරයෙන් ඇතුළු වෙලා ගොඩනැගිල්ලක් හදන්න පටන් ගත්තා. මෙම පන්සල වසර දෙදහක් පැරැණි පුරාවිද්‍යා රක්ෂිතයක් . නමුත් අද වන තුරු මේ මන්ත්‍රිවරුන්ගෙන් කිසිම ප්‍රකාශයක් සටහන් කරගෙන නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අද වනතුරු කිසිම නීතිමය ක්‍රියාදාමක් මේ පුරාවිද්‍ය රක්ෂිතයේ කරපු අනවසර ඉදිකිරීමට එරෙහිව අරගෙන නෑ. මේ අය නිදැල්ලේ ඉන්න නිදැල්ලේ ඉන්න වසර දහස්ගණනක් නිරුපද්‍රිතව උතුරේ පැවති ඒ මහා පුරාවස්තු විනාශ වීමේ අවදානමක් අද ඇතිවෙලා තියෙනවා
ශ්‍රේෂ්ඨාධිකරණයත් බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීමට බැඳී සිටිනවාද?
2018 යාපනය විශ්ව විද්‍යාලයේ බුදු පිළිමයක් තැබීම නිසා සිසුන් හයක් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කළා. විශ්ව විද්‍යාලයේම හින්දු කෝවිලක් තියෙනවා. බුදුපිළිමයට ඉඩක් නෑ. මේ පිළිබද මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කලත් නඩුව මාසයක් ඇතුළත ගොනු කළේ නෑ කියා විසිකළා. ඊට හේතු දැක්වුවත් සලකා බැලුවේ නෑ. රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයත් බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීමට බැඳී සිටිනවා. මූලික අයිතිවාසිකම් රැක දීමට බැඳී සිටිනවා. නමුත් ඒ අවස්ථාව ලබාදුන්නේ නැහැ.
අනුරාධපුරයේ පුරාවිද්‍ය වටිනාකමක් ඇති පෙදෙසක් ආසන්නයේ මුස්ලිම් ගමක් තියෙනවා. ඒ පුරාවස්තූන් ටික රැක ගන්න බුදු පිළිමයක් ඉදිකිරීමට කටයුතු කලා. ඊට ඉඩ ලැබුණේ නෑ. එවිට මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කලා. නමුත් ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසි කළා. රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම යටතේ ආගමික නිදහස තහවුරු කිරීමට මූලික අයිතිවාසිකම් ආරක්ශා කරන්නට බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන්නට අධිකරණයත් බැඳී සිටිනවා. නමුත් අධිකරණය මේ වගකීම අද සාධාරණව ඉටු කරනවා ද කියන ප්‍රශ්නය අපට මතුවෙනවා.
ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකමක් තමයි රටේ කැමති තැනක වාසය කිරීමට ඇති අයිතිය. ඕනෙම තැනකදි තමන්ගේ ආගම අදහන්න පුළුවන්. ඒ අයිතිවාසිකම් අද බෞද්ධයාට අහිමිවෙමින් පවතින තැනකයි අපි මේ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය ගැන කතා කරන්නේ.
රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?
සාම්පූර් වල දී වසර දෙදහස් එකසීයක් පරණ සුදයිකුඩා චෛත්‍යය බුල්ඩෝසර් කල වැරදිකරුවන්ට එවෙලේම ඇප ලැබුණා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු සැබෑ සංහිඳියාව විනාශ කර ජාතික උරුමය විනාශ කරන මේ නරුම වැඩේ හෙළා දකිනු වෙනුවට ඒ චෛත්‍යය බුල්ඩෝසර් කල වැරදිකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. අවසානයේ රුපියල් විසි දහසක දඩයකට මේ අයව නිදහස් කලා. දඩය ගෙවලා නිදහස් වුණු මේ අන්තවාදීන් මීළඟට රුවන්වැලි සෑය බුල්ඩෝසර් කලත් පුදුම වෙන්න එපා. අද මේ අය කොන්ත්‍රාත් ලබාගන්නට ඉඩ තියෙනවා බෙදුම්වාදීන්ගෙන් අපි චෛත්‍යය ටික බුල්ඩෝසර් කරලා දෙන්නම් එක චෛත්‍යයකට රුපියල් 50,000 බැගින් දෙන්න කියලා. මොකද වැඩේ ලාබයි. පනස්දාහක් කොන්ත්‍රාත් ගත්තා. විසිදාහක් දඩ ගෙව්වා. තිස් දහසක් ඉතුරුයි. මේ රැල්ල මේ විදිහට ගියොත් නුදුරු දිනක දඩයකට යටත්ව නිදහස් වීමේ චේතනාවෙන් රුවන්වැලිසෑය බුල්ඩෝසර් කිරීමේ අවදානමක් අද මතුවී තිබෙන බව මේ ගරු සභාවට සදහන් කරන්නට අවශ්‍යයි.
2018 වසරේ දී අධිකරණයේ විනිසුරුවරයාගේ අවසරය සහිතව අධිකරනයේ කතා කළ ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කල බව කියමින් අද දහනම වසරක් හිරේ. මන්නාරම අධිකරණයට ගල්ගැසීම මෙහෙයවපු අයට අද කැබිනට් ඇමති ධූරයක් ලැබී තිබෙනවා. කිසිම සාක්ෂියක් නොමැතිව පදනම් විරහිතව විනිසුරුවන්ගෙන් 95% දූෂිත යැයි කිව්ව පුද්ගලයා අද ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.
කොටි සංවිධානය නැගිට්ට විය යුතුයි කියලා කතා කරපු විජයකලා මහේෂ්වරන් මැතිණිය අද ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරියෙක්. හැබැයි හාමුදුරුවෝ හිරේ. දිගන ගැටුම ආරංචිවෙලා සිදු වෙන්නේ කුමක්දැයි බලන්න ගිය කිරිබත්කුඹුරේ සෝභිත හාමුදුරුවන්ව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්වරයකුට ඇප දෙන්න බැහැ ඒ පනත යටතේ ඉදිරිපත් කළ හම. මහාධිකරණයකට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂී හේතුමත පමණමයි. කිසි වරදක් නොකරපු කිරිබත්කුඹුරේ සෝභිත හාමුදුරුවන් හය මාසයක් රක්ෂිත බන්ධනාගාරයේ හිටියා. විජයකලා මන්ත්‍රිතුමිය අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ නීතිපතිවරයාටත් පොලීසියටත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ නඩුව ගොනු කරන්නට අමතක වුනා. විජයකලා නෝනට ස්වාමින්වහන්සේලාට බලපාන නීතිය බල නොපෑවේ ඇයිද කියලා අධිකරණ අමාත්‍යතුමිය අද මේ සභාවට දැනුම් දේවි යැයි අප බලාපොරොත්තු වෙනවා.
භික්ෂූන්වහන්සේලා තොග පිටින් රක්ෂිත බන්ධනාගාර ගතකරන උන්වහන්සේලා නිරපරාදේ හිරේ දාන යුගයක අප බුදුදහමට ප්‍රමුඛස්ථානය ලැබෙනවාය බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරනවාය කියන එක ඇත්තෙන්ම විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා. අනික් අය වරදක් කල විට නීතිය කන ගාවින් නමලා හරි කොහොමහරි බේරගන්නව. ගරුතර ස්වාමීන් වහන්සේලා යන්තමින්වත් කුමකට හෝ ගෑවුනොත් කුදලාගෙන ගිහිල්ලා හිරේ දානවා.
නම වෙනි වගන්තිය බලාත්මක කරමු
නම වන වගන්තියට කිසිම අර්ථ නිරූපණයක් නෑ. 1972 ඉදන්ම මඩියේ පඤ්ඤාසීහ නායක ස්වාමීන් වහන්සේ නම වන වගන්තියට අර්ථ නිරූපනයක් අවශ්‍යයි කියලා මේ පිළිබඳ හඬ නැගුවා. අද උන්වහන්සේ අපවත් වෙලා. තවමත් නමවෙනි වගන්තියට අර්ථ නිරූපණයක් නැහැ. බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය බුද්ධ ශාසන පනතක් කෙටුම්පත් කර තිබෙනවා. අපේ ආණ්ඩුව කාලයේ දී මේ සදහා එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිව සිටියා. නමුත් දැන් අවසන් කෙටුම්පත සකස් කර ඉවරයි. එය දැන් බුද්ධශාසන අමාත්‍යාංශයේ තියෙනවා. අන්න ඒක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා නම වෙනි වගන්තියට බලයක් ලබා දෙන්න කියලා අපි බුද්ධශාසන ඇමතිතුමන්ට කියනවා.
අපි දන්නවා එතුමන් පසුගිය වසර 78 පුරාවටම මහා පින් කඳක් එකතුකරගත් ඇමති කෙනෙක්. ඊටත් වඩා පිනක් එතුමන් ලබා ගන්නවා මේවා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන්. ඒ පින්කම කිරීමට එතුමන්ට චේතනාව පහළ වේවායැයි පතමින් මම නිහඬ වෙනවා.