Colombo Today Local News

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

බෞද්ධයින් වශයෙන් අතිශය වැදගත් පොහෝ දිනයක් වශ‍යෙන් පොසොන් පොහොය හැඳින්විය හැකිය. මන්ද යත් බුද්ධාගම ප්‍රමුඛ කරගත් බෞද්ධ සංස්කෘතිය මෙරටට ලැබෙන්නේ මෙම දිනයේ දී වන බැවිනි. කෙසේ වුවත් බුදු දහමත් සමඟ ලාංකිකයින් සංස්කෘතික ජන කොට්ඨාශයක් බවට පත් වූ බවට බොහෝ දෙනා විසින් ප්‍රකාශ කරනු ලබයි. එනම් මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පැවසෙන කරුණක් වන්නේ බුදු දහම මෙරටට පැමිණීමට පෙර ගස් ගල් වන්දනාමාන කරමින් සිටි නොදියුණු ජන පිරිසක් මෙරටේ සිටි බවයි. එහෙත් එම ප්‍රකාශයන්හි සත්‍යාසත්‍යතාව පිළිබඳ මේ වන විට ගැටළු පැන නැගී ඇත්තේ ඊට අවුරුදු දහස් ගණනකට පෙරද සංස්කෘතික වශයෙන් වඩාත් දියුණු ජන පිරිස් මෙරටේ වාසය කර ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ලැබෙන බැවිනි.

කෙසේ වුවත් පොසොන් පොහෝ දිනයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී බුද්ධ චරිතය හා සම්බන්ධ විශේෂ සිදුවීම් ගණනාවක් එම දිනයේදී සිදුවී ඇති බවට බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරමින් සිටි අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවණක් ඝණ බුදු රැස් විහිදුණේ උතුම් වූ පොසොන් පෝ දිනයේය.

එසේම ලාංකේය බෞද්ධයන් වන අපට පොසොනේ පොහොය ඉතා වැදගත් වන්නේ බුදු දහම මෙරටට ලැබීම නිසාය. මෙතෙක් ගස්, ගල්, ඉර, හඳ වන්දනාමාන කරමින් ජීවත් වූ ලාංකාපුර වාසීන්ට තිර ආගමක් හා නිවැරදි මඟ පෙන්වීමක් ලැබෙන්නේ මහින්දාගමනයත් සමඟය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 කට පසුව ඉන්දියාවේ පැවති තෙවන ධර්ම සංඝායනාවන් පසු ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පූර්ණ සහය සහිතව මොග්ගලීපුත්ත තිස්ස තෙරුණ්ගේ මූලිකත්වයෙන් රටවල් නවයකට බුදු දහම රැගත් දූත පිරිස් යැවූ අතර එම ශාන්තීය දූතයන් මිස්සක පව්වට පැමිණෙන්නේ බු.ව 236 දීය. ඒ සදහම් පණිවිඩය සමඟ මෙරට ආගමික, සමාජීය හා සංස්කෘතික පුනරුදයක් ඇතිවිය.

එසමයේ අසල්වැසි රාජ්‍යය වූ දඹදිව රජ කරන ලද්දේ අශෝක අධිරාජ්‍යයාය. කාලිංගය දෙවනත් කරමින් මහා ජන සංහාරයක් සිදු කරමින් දිග් විජය ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ඔහු චණ්ඩාශෝක නම් වීය. මෙම සංග්‍රාමයෙන් පසු විනාශ වූ මිනිස් ජීවිත ගැන කලකිරී හත් හැවිරිදි නිග්‍රෝධ සාමනේර වහන්සේගෙන් දහම් කරුණු අවබෝධ කරගනිමින් එතුමා දහම් විජය වැළඳ ගත්හ. චණ්ඩාශෝක නමින් දෘඪ සිත් ඇති අධිරාජ්‍යයා එතැන් සිට ධර්මාශෝක විය. අසූදහසක් වෙහෙර විහාර කරවා බුදු සසුන්ට පූජා කළ ඔහු සිය පුතණුවන් හා දියණිය ද සසුන්ගත කරවීය. ඒ ධර්ම විජය ප්‍රතිපත්තිය යටතේ අපට බුදු දහම ලැබුණි.

මෙරට ප්‍රථම සිංහල රජු වූ පණ්ඩුකාභය රජුගෙන් (බු.ව 107, මහාවංශය) පසු රජවූ මුඨසීව රජුට (බු.ව, 177, මහාවංශය) පුතුන් දසදෙනෙක් හා දූවරු දෙදෙනෙක් වීය. මුඨසීව රජුගෙන් පසු රාජ්‍ය පාලනය ලබා ගත්තේ තිස්ස කුමාරයාය. ඔහු ධර්මාශෝක රජු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගත් අතර අශෝක රජු විසින් තුටු පඩුරු හා අභිෂේකයට අවශ්‍ය සියලු භාණ්ඩත් තුනුරුවන් පිළිබඳ පණිවිඩයත් තිස්ස රජුට එවන ලදී. හසුන් බලා තෙරුවන් කෙරේ පැහැදී වෙසක් පුන් පෝ දා තිස්ස රජු බුදු දහම වැළඳ ගත්තේය.

”සමණාමයං මහාරාජ – ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය -ජම්බුදීපා ඉධාගතා”
”මහරජ අපි ධර්මරාජ්‍යන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝය. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.”

මිහිඳු හිමි ඇතුළු පිරිස (ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල රහත් වහන්සේලා ද, සුමන සාමනේරයන් හා පණ්ඩුක නම් උපාසක) මෙම උතුම් පුන් පොසොන් පෝ දින මිස්සක පව්වට වැඩම කළ අතර මෙම ධර්ම දූත පිරිස විශේෂිත වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමීපතයන් ධර්ම දූතයින් වශයෙන් මෙම දහම් පණිවිඩය මෙරට ඒමය. ඒ දෙරට අතර පැවති මිත්‍ර සම්බන්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. මිහිඳු හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා වන අතර, සුමන සාමනේර වහන්සේ අශෝක අධිරාජ්‍යාගේ දියණියගේ පුත්‍රයාය. එසේම භණ්ඩුක නම් උපාසක මිහිඳු හිමිගේ මෑණියගේ සොයුරියගේ දියණියගේ පුත්‍රයාය.

ධර්මය වටහා ගැනිමට තරම් වූ අවබෝධයක් රටේ පාලකයාට ඇතිදැයි පරීක්ෂා කිරීමට මිහිදු හිමි විසින් අඹ ගස් හා ඥාතීන් සම්බන්ධ ප්‍රශ්න ඇසූ අතර පසුව රජු ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන ලදි. මෙම සූත්‍ර දේශනාවේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවය, ධර්මයන්හි සත්භාවය හා සංඝරත්නය සතු වූ ශ්‍රේෂ්ඨභාවය පිළිබඳ සූත්‍ර දේශනා ඇතුළත් විය.

අනතුරුව මිස්සක පව්ව මතදී භණඩුක උපාසක පැවිදි කොට උපසම්පදා භික්ෂුවක් බවට පත්කළ අතර එය මෙරටදී සිදුකළ ප්‍රථම පැවදි කර්මයයි. එමෙන්ම බුදු දහම පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණයට මූලික වූ අවස්ථාව වූයේ ද මෙයයි. ඒ අනුව මෙරටේ ප්‍රථම උපසම්පදාව හා පැවිදි කර්මය සිදුකළ දිනය වශයෙන් පොසොන් පෝ දින වැදගත් වේ. තව ද අකාලික වූ නිර්මල වූ දේශනාවන්ගෙන් ලක්වැසියන් ශ්‍රද්ධාව ජනිත කරවා, මාර්ග ලාභීන් බිහිකරවා, තෙරුවන් සරණ මුල් කරගත් සංස්කෘතියක් බිහි කරවීමට අවශ්‍ය සමාජ වපසරිය ද මේ ඔස්සේ නිර්මාණය විය.

ඉක්බිති මිහිඳු හිමියන් සුමන සාමනේරයන් ලවා කාල ඝෝෂා සිදු කළ ස්ථානය වර්තමානයේ දී ආරාධනා ගල ලෙස හඳුන්වනු ලබයි. එම තෙරුණ් මුලු ලක්දිවටම ඇසෙන ලෙස ඍධි බලයෙන් කළ කාල ඝෝෂාව අසා රැස් වූ ලක්වැසි දිව්‍ය, නාග සුපර්නාදීන්ට මිහිඳු නාහිමියන් විසින් සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළසේක.
මිහිදු හිමි විසින් අන්තපුරයේ දී විමාන වස්තුව හා ප්‍රේත වස්තුව මුල් කරගනිමින් ධර්මය දේශනා කළ අතර එය අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රී හු සෝවාන් විය. එසේම ඇත්හලේදී දේව දූත සූත්‍රය දේශනා කළ අතර ඉන් දහසක් පුරුෂයෝ සෝවාන් ඵලයට පත්විය. තවද උන් වහන්සේ මෙරටට වැඩම කළ මුල් දිනයේම දෙදහස් පන්සියයක් පිරිස සෝවාන් ඵලයට පත්වූ බවද සඳහන් වේ.

බුද්ධ ශාසනයට අනුග්‍රහහය දක්ව දේවානම්පිතිස්ස රජු විසින් මහාමේඝ උද්‍යානය මහා සංඝයාට පූජා කළේය. මහමෙව්නා උයන පිළිගත් උන්වහන්සේ පිළිවෙලින් ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ සිටින තැන, ලෝවාමහාපාය පිහිටි තැන, රුවන්වැලි සෑය පිහිටි තැන ආදී ස්ථාන නිර්ණය කොට සතර බුදුවරුන් විසින් සේවනය කරන ලද උත්තම ස්ථාන සතකට අග්ගික්ඛන්දෝපම සූත්‍රය ඇසුරෙන් බණ කියා දහසක් දෙනාට නිවන් මඟ පෑදුවේය. තුන් වන දා ආශිර්විෂෝපම සූත්‍රයත් සිව්වන දිනයේ අනමතග්ග සූත්‍රයත් දේශනා කළේය. එසේම මහා සීමාව බඳවා බුදු සසුන තිර කළේය.

පස් වන දින ඛජ්ජනිය පරියාය සූත්‍රය ද, සයවන දින ගොමය පිණ්ඩ සූත්‍රයද සත්වන දින ධම්සත් පැවතුම් සූත්‍රයද දේශනා කොට දහසක් දෙනාට ධර්ම අවබෝධය ලබාදුන් සේක.

සකෘර්දාගාමී වූ අනුලා දේවිය පැවිදි වීමට කැමති බව රජුට ප්‍රකාශ කළ අතර මිහිඳු හිමිට මේ බව දැන්වූ විට උන්වහන්සේ සංඝමිත්තා තෙරණිය ලවා මෙම කාර්යය සිදු කළ හැකි බව පැවසීය. අනතුරුව සිදුවන දුමින්දාගමනය සමඟ ලංකාවේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සනිටුහන් වේ.

ඒ අනුව මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට ශිල්ප ශ්‍රේණි 18ක පිරිසක් සමඟ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමවීමත් සිදු වන්නේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසය. මිහිඳු හිමිගේ නැඟණිය වන සංඝමිත්තා තෙරණිය බුද්ධ ගයාවේ සිට ශ්‍රී ලංකාවට වැඩමවූ ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා මහමෙව්නා උයනේ රෝපණය කර තිබේ.
මෙසේ බු.ව 236 දී අශෝක අධිරාජ්‍යාගේ පුත් මිහිඳු තෙරුන් පොසොන් පෝ දිනයේ දී බුදු දහම මෙරටට ගෙනවිත් පාලකයා බෞද්ධයෙක් බවට පත් කිරීමත් සමඟම බුදු දහම ලංකාවේ ස්ථාපිත විය. සියලු රජවරු බුදු දහම ව්‍යාප්ත කිරීමට වෙහෙසී කටයුතු කළ අතර බු.ව 200 පමණ වන විට බුදු දහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්විය.

දෙවන පෑතිස් රජු බුදු දහම වැළඳ ගැනීමේ සිට මෙරට බලයට පත්වන සෑම පාලකයෙක්ම බෞද්ධයෙක් විය යුතු යැයි තිර සමාජ පිළිගැනීමක් ඇතිවිය. ඒ නිසාම එළාර, පණ්ඩු ආදී ද්‍රවිඩ රජවරුන්ටද බුදු දහමට අනුව රට පාලනය කිරීමට සිදුවිය. එතැන් පටන් රජවූ සියලු පාලකයන්ට බුදු දහම වැළඳ ගැනීම, දන්ත ධාතූන් වහන්සේගේ අයිතිය හා භික්ෂූන් වහන්සේලාගේ පක්ෂපාතිත්වය හිමි වීම අනිවාර්ය විය.

මේ අනුව සැලකීමේදී මහින්දාගමනය සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙස පෙන්වා දිය හැක. එනම් උන්වහන්සේ මෙරටට ගෙනආවේ බුදු දහම පමණක්ම නොවේ මෞර්ය ශිෂ්ටාචාරයේ උසස් ගුණාංගත් අධ්‍යාපනය, සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මය පමණක් නොව සාරධර්ම පිරි සමාජයත් අපට දායාද වූයේ ද මිහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසය.

Related posts

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

colombotoday

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin