Colombo Today Local News

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අද (12)දින දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා සංඝරත්නය එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වේ.

අද පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිවරු ඇතුළු කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර ආශිර්වාද පළ කළහ.

මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන රජයට ස්වාධීනව ඉදිරියට යාමට හැකි බලයක් ජනතාව දී ඇතැයි සඳහන් කළ නියංගොඩ විජිතසිරි අනු නායක හිමියෝ එය මනාව හඳුනාගනිමින් අභියෝග ජය ගැනීමට ආශිර්වාද කළහ.

අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු බැහැ දුටුහ.

රටට යහපත් පාලක දෙපළක් පත්ව ඇතැයි අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියෝ අනුශාසනාවක් කරමින් කියා සිටියහ. කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා පත් කිරීම් සිදුකර ඇති ආකාරය ගැන උන්වහන්සේ සිය ප්‍රසාදය පළ කළහ.

රටට, ජාතියට සේවය කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ නව රජයට ආශිර්වාදය පළ කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපන පේමසිරි නා හිමියෝ සඳහන් කළහ.

මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

Related posts

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

වන රක්ෂිතවල කොස් කඩන්න වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday