World

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඉරානයේ ප්‍රබලම ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ඩ්‍රෝන යානා යොදාගනිමින් පසුගිය ජනවාරි මාසයේදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.

ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එම ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කරන තවත් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් විසින් නියෝග කරනු ලැබ තිබෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ද ඉල්ලා ඇත.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි අවස්ථාවේදී ඉරාන ජෙනරාල්වරයා ඝාතනයට ලක්විය.

ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූයේ ජනවාරි 3 වැනිදා ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනකුට අධික පිරිසක් ඊට සම්බන්ධ යැයි ද ඔවුන්ට ‘‘මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදී චෝදනා’’ එල්ල කර ඇතැයි ද තෙහ්රාන් හි විනිසුරුවරයකු වන අලී අල්කසිමෙහ්ර් උපුටා දක්වමින් ඉරානයේ අයි.එස්.එන්.ඒ. පුවත් සේවය වාර්තා කර තිබිණි. අයි.එස්.එන්.ඒ. යනු ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයකි.

විනිසුරු අලී අල්කසිමෙහ්ර් අන් අය කවුරුන්දැයි සඳහන් නොකළ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව වුවද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව පැවැසීය.

ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන්නැයි ද ඉරානය, ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා ඇත. රතු නිවේදනය යනු ජාත්‍යන්තර පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ඉහළම නිවේදනය යි.

අල්ජසීරා

Related posts

මෙක්සිකෝ බන්ධනාගාරයකට වෙඩි ප්‍රහාරයක්: සිරකරුවෝ විශාල පිරිසක් පැන යති

Admin

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

colombotoday