අන්තවාදී ගැටුම් සම්බන්ධයෙන් සහරාන් හෂීම්, ඔහුගේ සොහොයුරු මොහොමඩ් රිල්වාන් ඇතුළු සිවුදෙනෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී කාත්තන්කුඩි පොලීසිය විසින් එය නොසලකාහැර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.
ඒ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ එවක ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.
කොමිසම හමුවේ ඊයේ (19) රාත්‍රියේ සාක්ෂි ලබා දුන්නේ 2017 වසරේ අගෝස්තු සිට 2020 ජනවාරි දක්වා කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතායි.
2017 මාර්තු 10 වන දින කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ දී සහරාන් හෂීම් සහ රාවුෆ් මවුලවී යන ජාතික තව්හිද් ජමාත් සහ සුන්නතුල් වල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් ඇතිව තිබූ බවත්, කඩු කිණිසි සහ පෙට්‍රල් බෝම්බ යොදා ගත් අදාල ගැටුමෙන් පසු සහරාන් හෂීම්, මොහොමඩ් රිල්වාන්, ආමි මොහොමඩ්, යූසුෆ් අන්වර් යන පුද්ගලයන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
තමන් සේවයට වාර්තා කරන විටත් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් පැවතියත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සහරාන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී කොමිසම විමසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබා නොගත්තේ මන්ද යන්නයි.
සාක්ෂිකරු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව නොලැබී තිබූ නිසා පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබාගැනීමට නොහැකි වූ බවයි.
ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කළේදැයි කොමිසම විමසීය.
ඒ පිළිබඳ මතකයක් තමන්ට නැති බව සාක්ෂිකරු සඳහන් කළේය.
කෙසේවෙතත් අධිකරණ වාර්තා පිරික්සූ ජනාධිපති කොමිසම එහිදී පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරී මාසයේ 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබූ බව සාක්ෂිකරු නොදැන සිටියේද යන්නයි.
තමන් ඒ ගැන නොදන්නා බව පැවසූ ඔහු කියා සිටියේ ඒ නිසා වරෙන්තු ලබා ගැනීමක් සිදු නොකළ බවය.
කොමිසම එහිදී පෙන්වා දුන්නේ, සාක්ෂිකරු පවසන අන්දමින් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට සහරාන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ අන්තර්ගත බවය.
ඒ අනුව,
” 1.මාරක ආයුධ ඇතිව නීති විරෝධී රැස්වීමකට සහභාගී වීම
2 මාරක ආයූධ ඇතිව කැරලි ගැසීම
3 කැරලි ගැසීමේ අවස්ථාව මැඩපැවැත්වීමේදී රජයේ නිලධාරියෙකුට බාධා කිරීම
4 ස්වෙච්චාවෙන්ම තුවාල සිදුකිරීම
5 අන්තරායක ආයුධ හා උපක්‍රම භාවිත කරමින් තුවාල කිරීම “
යන වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි එලෙස බී වාර්තාවේ අන්තර්ගත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමට අවධාරණය කළේය.
එමෙන්ම මේ සම්බන්ධව එවක පරීක්ෂණය සිදු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක මහතාට සහරාන් විසින් මුහුණු පොතෙන් මරණ තර්ජන එල්ල කර ඇති බවද කොමිසම විසින් එවක ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේය.
එහිදී කොමිසම විමසුවේ මෙම කරුණු කෙරෙහි අවධානය යොමු නොවුණේ නම් අවම වශයෙන් සැකකරුවන් පලා ගොස් සිටියදී සහරාන් හෂීම්ගේ පියා හෝ පවුලේ අයගෙන් ඔවුන් පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගත්තේද යන්නයි.
සාක්ෂිකරු එහිදී “නැත” ලෙස පිළිතුරු දුන්නේය.
එවිට කොමිසම ප්‍රශ්න කළේ සහරාන් ඇතුලු පිරිස 2018 වසරේදී වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි ඇති බව දැන් ඔබ පිළිගන්නේද යන්නයි.
සාක්ෂි ඇති බව ඔහු එහිදී පිළිගනු ලැබුවේය.
එසේනම් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි නොමැති බවට ප්‍රකාශයක් කළේ මන්දැයි කොමිසම එහිදි ප්‍රශ්න කිරිමේදි එම ප්‍රකාශය වැරදි බව කොම්සම හමුවේ සාක්ෂිකරු පිළිගනු ලැබීය.
එසේ නම් ඔබ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුවට උනන්දුවක් නොදැක්වූයේදැයි කොමිසම විමසීය.
ඇතැම් ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකළ බව සාක්ෂිකරු එහිදී පිළිගත්තේය.
ඔබේ රාජකාරිය ඔබ හරියාකාරයෙන් ඉෂ්ඨ කර නැති බව පිළිගන්නේදැයි කොමිසම යලි විමසු අවස්ථාවේ සාක්ෂිකරු නිහඩව සිටියේය.
ඔබ විසින් සාක්ෂි තිබියදී සහරාන් හෂීම් ඇතුලු පිරිස අත්අඩංගුවට ගත්තේ නම් පසුගිය වසරේ පාස්කු ඉරුදින අහිංසක ජීවිත රැසකට සිදුවූ හානිය සිදු නොවනු ඇතැයි තමන්ට පෙනී යන්නේද පිළිබද කොමිසම මෙහිදී විමසු අතර සාක්ෂිකරු එහිදි ප්‍රකාශ කළේ අධිකරණය ඔස්සේ ගත හැකි පියවර තමන් ගත් බවයි.
සහරාන් හෂීම්ගේ සහෝදරයකු වූ රිල්වාන් හෂීම් රැඳී සිටි ඔල්ලිකුලම් හි ඉඩමකින් පාස්කු ප්‍රහාරයෙන් පසු යම් කිසිවක් සොයාගැනීමට හැකිවූයේදැයි කොමිසම විමසීය.
එම ඉඩමේ වල දමා තිබූ චීනයෙන් ගෙන්වන ලද සහ මෙරට නිෂ්පාදිත කඩු තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගත් අතර එම කඩු පාස්කු ප්‍රාහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හා පල්ලිවලින් හමුවූ කඩු හා සැසදීමේදී සමාන බවද සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළේය.