Colombo Today Local News

වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ආරම්භ කරනවා – විමල්

වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (16)  දින, වසා දමා ඇති වාලච්චේන ජාතික කඩදාසි කම්හල් පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය .

“4000 කට අධික සේවක පිරිසක් සේවයේ යෙදී සිටි, මෙරටට මහා ධන උල්පතක් වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල අද  අභාවයට යවා තිබෙනවා. අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස යළි එයට පණ දීම පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටිනවා. ඒ අතරතුර මේ නිරීක්ෂණ චාරිකාවේ යෙදුණේ. සම්පූර්ණයෙන්ම නොවුණත් මාස කිහිපයක් තුළ  මෙහි අංශ කිහිපයක හෝ කටයුතු මුල් අදියර ලෙස ඇරඹීමට අපි සූදානම්.

මේ මහා ජාතික සම්පත මේ විදිහට අතහැර දැමුවේ ඇයි?  යන ප‍්‍රශ්නය අප හමුවේ තිබෙනවා. මේ ප‍්‍රදේශය තරුණ පිරිස්වලට රැකියා  ලබා දෙන උල්පතක් ලෙසත් කඩදාසි, කාඞ්බෝඞ්, ෆයිල් කවර ආදිය සඳහා පිටරටට ඇදී යන මුදල් මෙරටට රඳවා තබා ගත හැකි ධන උල්පතක් ලෙසත් මෙය සැලකිය හැකියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සහ අගමැති  මහින්ද රාජපක්ෂ මහතා  ප‍්‍රමුඛ අප රජයේ ප‍්‍රතිපත්තිය මෙවැනි දේශීය කර්මාන්ත නගා සිටුවීමයි.

විවෘත ආර්ථිකයත් සමඟ පෞද්ගලික අංශය සමග තරග කිරීමට නොහැකිව අත්හැර දැමූ සීනි කර්මාන්තශාලා, පිඟන් කර්මාන්තශාලා, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව,  වැනි රජය සතු සියලූ කර්මාන්ත ශාලාවලට පණ දීමේ වගකීම කර්මාන්ත අමාත්‍යංශය සතුයි. අපි ඒ වගකීමට උර දීමට සූදානම්”.

අක්කර 500කට ආසන්න භූමි භාගයක් පුරා පැතිරී ඇති කර්මාන්ත පරිශ‍්‍රයේ වසාදමා ඇති පරිපාලන ගොඩනැගිල්ල, යන්ත‍්‍රාගාරය, බොයිලේරු අංශය, වැඩ බිම් අංශය ආදී සියල්ල නිරීක්ෂණය කළ ඇමතිවරයා හිටපු සේවක පිරිස්, ක්ෂේත‍්‍රයේ විද්වතුන් ඇතුළු පිරිසක් සමග මෙම ජාතික සම්පත යළි නගාසිටුවීම පිළිබඳව සාකච්ජාවක ද නිරත විය.

මෙම නිල නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

Related posts

තවත් වසර 6කට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ

colombotoday

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

ශ්‍රී ලංකාව තුළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් දූත මණ්ඩල අප්‍රසාදය

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday