Colombo Today Local News

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවය.

බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් ඉදිරි දෙවසරේ දී අභියෝග ගත ඉලක්ක සපුරාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණික කෘෂිකාර්මික රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000ක් වන අතර පාරිභෝගික අවශ්‍යතාව ටොන් 250,000ක් වන අතර අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරාගැනීමට ගොවීන් දිරිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්ක ජයගැනීමටත්, වෙනත් ආදේශ අල වර්ග පරිභෝජනයට දිරිගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වය අත්කර ගැනීමට හැකියාව පවතින බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගබඩාකරණයේ දී සහ ප්‍රවාහනයේ දී සිදුවන හානිය මගහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

වසර 08ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බදවා ගැනීම් කර නොමැති අතර පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉහළ ප්‍රමිතියෙන් යුත් පොහොර සුදුසු පරිදි භාවිතයටත් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී පරපුරක් බිහි කිරීමට කාබනික පොහොර භාවිතයට යොමුවීම ගැනත් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමේ වැදගත්කම පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.

Related posts

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

colombotoday

තමන්ගේ රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් !

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday