Colombo Today Local News

ගිනි ගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ට නොතීසි – නව සමාගම යටතේ කපිතාන්වරයා යෙදුණු මංගල ගමනත් මෙය බව හෙළිවෙයි

ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේ බොර තෙල් රැගත් ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයාට සැප්තැම්බර් මස 28 දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (17)දින නොතීසි නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් නමැත්තාට මෙසේ නොතීසි නිකුත් කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම නෞකාවෙන් කාන්දු වු ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400 ක පළලකින් යුත් තට්ටුවක් වශයෙන් අදාළ මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණය කළ හැකි බව දිලීප පීරිස් මහතා පවසා සිටියා. තෙල් කාන්දුව හේතුවෙන්ව නැව ගිනි ගත් ස්ථානයේ සිට මුහුදු සැතපුම් දෙකක් දක්වා ප්‍රදේශයක මුහුදු ජලය දූෂණයට ලක්වී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම නැව කුවේට් සිට ඉන්දියාව දක්වා බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ ගිනි ගැනීමට ලක්වූ බවටත් මෙම සමාගමට එක් වීමෙන් පසුව යෙදුණු මංගල ගමන මෙය බවටත් කපිතාන්වරයා ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇති බව දිලීප පීරිස් මහතා පවසා සිටියේ. නෞකාවේ ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 340 ක මුදලක් අයකර ගැනීමට අවශ්‍ය බවත් ඒ බව එම නැව් සමාගමට දැනුම් දී ඇති බව දිලීප පීරිස් මහතා පවසා සිටියා.

යම් හෙයකින් මෙම නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරගන්නේ නම් ඇමරිකානු ඩොලර් මිලියන170 ක බැඳුම්කරයක් තැන්පත් කර එම නෞකාව එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසට අදාළ නැව් සමාගමට දන්වා ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම කපිතාන්වරයා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහුගේ නිරෝධායන කටයුතු මේ මස 24 වනදා අවසන් වීමට නියමිත බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටියේ.

Related posts

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

Admin

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

Admin

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin