විමලවීර වනජීවින් හා මහාවංසය
නලින්ද සිල්වා – මියන්මාරයේ තානාපති
විමලවීර දිසානායක කියන්නෙ ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ හිටපු ශිෂ්‍යයෙක්. ඔහු තරමක් වෙනස් ආකාරයකට විශ්වවිද්‍යාලයට පැමිණි අයෙක්. ඔහු තවමත් ගැමියකු ද කියා මා දන්නේ නැහැ. එහෙත් ගැමියකු මෙන් ජීවත් වෙනවා. අද ඔහු වනජීවි රාජ්‍ය ඇමති. එහෙත් ඔහු දේශපාලනඥයෙක්. ඔහු පාර්ලිමේන්තුවට පත් වන්නේ මහජන ඡන්දයෙන්. ඔහුට රාජ්‍ය ඇමතිකම ලැබෙන්නේ පාර්ලිමේන්තුවට පත් වෙන නිසා. ඔහු මූලික වශයෙන් සතුටු කරන්න ඕන තම ඡන්දදායකයන් මිස වනජීවීන් නො වෙයි. වනජීවීන් පන්නල හරි මිනිසුන්ට ජීවත්වෙන්න තැනක් හදල දෙන්න ඕන.
වනජීවී නිලධාරීන් කරන්නෙ රැකියාවක්. ළමා කාලයේ දී නැත්නම් ගැටවර වියේ දි තමන් වනජීවි නිලධාර්යකු වෙනවා කියා ඉටා ගත්තු කී දෙනෙක් වනජීවි රාජ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ව වැඩ කරනවද කියල මා දන්නෙ නැහැ. සමහර දෙනකුට පරිසරය රැකීම ගැන යම් හැඟීමක් තියෙන්න ඇති. ඒත් ඔවුන් රැකියාවට පැමිණි පසු රාජකාරි කටයුතු ලෙස යම් යම් දේ කරන්න ඕන. චක්‍රලේඛ අනුව වැඩ කරන්න ඕන. අධිකරණ නියෝග පිළිපදින්න ඕන.
ඒ අතර පරිසරවේදීන් ඉන්නවා. ඔවුන්ට යම් දැනුම් පද්ධතියක් තියෙනවා. බොහෝ විට ඒ බටහිරින් එන්නක්. බටහිරයන් තම රටවල පරිසරය විනාශ කරල අනෙක් රටවල පරිසරය ආරක්‍ෂා කරන්න හදනවා. ඒ බොහෝ විට ලෝක පරිසරය රැකගෙන තමන්ගේ ජීවිත පවත්වාගෙන යෑම සඳහා.
ඒත් බටහිරයන් ඊනියා දියුණුව අත්පත් කරගෙන තියෙන්නෙ පරිසරය රැකීමෙන් නම් නො වෙයි. පරිසරය රැකීම මේ දියුණුව සමග සංගත නැහැ. ඒ කියන්නෙ පරිසරය රකිනවා නම් මේ දියුණුව අත්පත් කරගන්න බැහැ. දියුණු වෙන්න නම් පරිසරය රකින්න බැහැ. ඔය තිරසර සංවර්ධනය කියන එක බටහිරයන් අපේ රටවලට නිර්දේශ කරන එකක්. ඒත් චීනය වගේ රටවල් ඒ ගැන සතපහකට මායිම් කරන්නෙ නැහැ. බිජිං නගරයේ වායු දූෂණය ඉතා ඉහළයි. අද ඉන්දියාවෙත් වායු දූෂණයක් තියෙනවා. අපට එකෙන් බේරෙන එකත් ලෙහෙසි නැහැ. බුදුහාමුදුරුවන් දේශනා කරල තියෙනව කිඹුල්වත් නුවරින් හමන සුළඟත් සනීපය කියා. ඒත් අපට ඉන්දියාවෙන් හරි චීනයෙන් හරි හමන සුළඟ නම් සනීප නැහැ.
මේ රටේ ජනතාවටත් ඕන සංවර්ධනය. අපි අඩුම තරමෙන් සිංගප්පූරුවක් වෙන්න හදනවා. සිංගප්පූරුව කියන්නෙ රටක් නොවෙයි. නගරයක්. පැරණි ග්‍රීක පෞර රාජ්‍යය ගැන හිතා ගන්න සිංගප්පූරුව හොඳයි. සිංගප්පූරුවෙ වනජීවි අමාත්‍යාංශයක් නැතිව ඇති. නගරයේ ගස් ටිකක් වවල තියෙනවා. ඒත් වැඩිය පේන්නෙ කැත මහල් නිවාස. වනසතුන් කියල ජාතියක් ඉන්නෙ සත්තු වත්තෙ. සත්ව හිතවාදීන්ට ඒ සතුන් හිරකරන් ඉන්න එක ප්‍රශ්නයක් නො වෙයි. පෙරහැරේ අලි ගෙනියන එකයි ප්‍රශ්නෙ.
වෙහෙරගොඩයාය ජනතාව, විමලවීර දිසානායක, වනජීවි නිලධාරීන් මැදිහත්වෙලා ඉන්නෙ මහා සංකීර්ණ ප්‍රශ්නෙකට. අපට ඒ ගැන ලිපියක් ලියන එක ලෙහෙසියි. මේ වෙහෙරගොඩයාය ජනතාවට වගාවට හරක් දිගේලි කරන්න ජාතික වනජීවී උද්‍යානයකින් ඉඩම් ඕන. පරිසරය රැකීම ඔවුන්ගෙ ක්‍ෂණික ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට ඒක දැනෙන ප්‍රශ්නයක්වත් දැවෙන ප්‍රශ්නයක්වත් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය ඉඩම්.
මොන කතා කීවත් විමලවීර දිසානායකට අවශ්‍ය ඡන්ද. ඔහුට පෞද්ගලික ව නොවූවත් ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද. විපක්‍ෂය බලා ඉන්නවා ආණ්ඩුවෙ වැරැද්දක් පෙන්නල ජනතා විරෝධී වැඩක් කියල ජනතාවගෙ ඡන්දෙ දිනාගන්න. කොවිඩ් 19 රට පුරා පැතිර ගියත් ආණ්ඩුවට ඡන්ද නැතිවෙලා තමන්ට ඡන්දෙ ලැබෙනව නම් විපක්‍ෂයට ඒ ඇති. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි.
වනජීවි නිලධාරීන්ට අවසාන වශයෙන් තියෙන්නෙ පරිසරය රැකීම වගේ ම රැකියාව රැක ගැනීමක්. චක්‍රලේඛ අධිකරණ තීන්දු පිළිපදින්න ඕන. කවුරු හරි කිවුවොත් බද්‍යුද්දීන් කරල තියෙන්නෙත් විමලවීර දිසානායක කරන වැඩේමයි කියල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බද්‍යුද්දීන් ඒක කෙළෙ 2010 ආණ්ඩුව කාලෙ කිවුවෙත් ප්‍රශ්නය තවත් බරපතළ වෙනවා. මේ රටේ ජාතික ප්‍රතිපත්ති හදනව කියන එක බොරු කතාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් කවදාවත් ඒකට ඉඩක් ලැබෙන්නෙ නැහැ. ජාතික ප්‍රතිපත්ති කතාව දේශපාලනඥයන්ට තවත් මාතෘකාවක් පමණයි.
ජාතික ප්‍රතිපත්තියක් හදන්න බැරි එක රටේ ජාතික ගුණයක් වෙන්නත් පුළුවන්. අප බොහෝ වෙලාවට දකින්නෙ අනෙකාගෙ වැරදි අඩුපාඩු මිස හොඳ නො වෙයි. අප දන්නෙ පැමිණිළි කරන්නයි අඳෝනා නගන්නයි. අප යමකුගෙ හොඳක් දකින්නෙ ඒකෙන් අපට මොන ආකාරයකින් හරි හොඳක් වෙනව නම්. ඒක තමන් අනෙක් අයගෙ හොඳ දකින හොඳ මිනිහෙක් කියල ලකුණු ටිකක් දා ගැනීම වෙන්න පුළුවන්, එකිනෙකාගෙ පිට කසා ගැනීමක් වෙන්න පුළුවන්, විරුද්ධවාදියකුට පහරක් එල්ල කරන්න වෙන්න පුළුවන්. ගෙදරක වැඩට එන බාසුන්නැහැ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ල කලින් බාසුන්නැහැගෙ වැරදි කියල තමයි පටන් ගන්නෙ. දේශපාලනඥයොත් එහෙම තමයි. ජාතික ව්‍යාපාරයෙත් එහෙමයි.
වනජීවීන් සම්බන්ධයෙන් තියා පාරෙ යන එක සම්බන්ධයෙන්වත් අපට ජාතික ප්‍රතිපත්තියක් හදා ගන්න බැහැ. වනජීවින් එකතු වෙලා හදල දුන්නොත් මිස අපට හදා ගන්න බැහැ. වනජීවීන් අතර අපට වඩා සමගියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අධ්‍යාපනය ජනමාධ්‍ය ආදිය විසින් සමගිය සාමූහිකත්වය නැති කරල පෞද්ගලිකත්වය තරගකාරීත්වය ඉස්මතු කරල.
මිනිසුන්ට ඉඩම් ඕන. සතුන්ටත් ඉඩම් ඕන. ගස් වැල් වැවෙන්න ඉඩම් ඕන. තිරසාර සංවර්ධනය ආදිය පදනම් වෙන්නෙ ඇරිස්ටෝටල්ගෙ පොත හා පරණ තෙස්තමේන්තුව මත. තවත් පොත් දෙකක් තියෙනව චීනෙ තාම්ගෙ හා කොන්ෆියුෂියස් නැත්නම් කුං ෆූචිගෙ (මේ උච්චාරණයත් වැරදි වෙන්න පුළුවන්. මේ ජීවත්වෙලා ඉන්න මට ජවිපෙ බොහෝ දෙනෙක් කියන්නෙ නලින්ද කියල වමාල සහ තවත් අය කියන්නෙ නලියා කියලා) පොත, බටහිර ආසියාවෙ පොත කුරානය. අලුතෙන් මොන පොත් ලිවුවත් මේ පොත් මත පදනම් වෙලා තමයි මූලික වශයෙන් ලෝකෙ දිව්වෙ. පහළොස්වැනි සියවසේ ඔය පොත්වලින් බටහිර පොත් දෙකට පෞද්ගලිකත්වය එකතු වුණා.
අපටත් පොතක් තිබුණ. ඒ මහාවංසය. මහාවංසය අනුව තමයි ථෙරවාද රටවල් දිව්වෙ. ඒ පොතේ තියෙනව, මහරජ ඔබ මෙහි පාලකයා නොව භාරකාරයා පමණය. මිහිඳු හිමියන් වැඩියෙ රජු කෙරෙහි අනුකම්පාවෙන් ය. සතා සර්පයා සිවුපාවත් රටේ ඉන්නවය ඒ පොතේ නැති වුණත් ගහකින් කොළයක් කැඩීම ගැනත් හිතන්න අපට පුරුදු කරල තියෙනවා. සහජීවනයක් ගැන කියනවා. ඒත් ඒ පොතත් ඒ කියමනුත් වත්මන් මිනුම් දණ්ඩෙන් ලෝකෙ දුප්පත් රටවල් කිහිපයකට සීමා වෙලා.
අපට බටහිර වගේ ඒ පන්නෙට දියුණු වෙන්න ඕන නැහැ. කැත මහල් නිවාස ඕනත් නැහැ. අප නගර කිහිපයකට කොටු වෙන්න ඕනත් නැහැ. අපේ පොතේ තරම් පරිපාලනය විමධ්‍යගත කිරීමක් වෙනත් පොතක දකින්නත් බැහැ. අපට මහා ධුරාවලියක් ඇත්තෙත් නැහැ. ඒත් බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ. ඒත් පොතේ මොකක් හරි අඩුවක් තියෙනව කියල දැනෙනවා. එහෙම කිවුව ගමන් මට බනින්න පටන් ගන්නවා. වෙන කොහේවත් නැති තරමට පහුගිය අවුරුදු හතළිහක පමණ කාලයක අපේ පෞද්ගලිකත්වය වර්ධනය වෙලා.
වනජීවී නිලධාරීන් කොළඹින් යවන්න ඕනෙ නැහැ. ගමේ ම වනජීවි නිලධාරීන් හදා ගන්න ඕන. කොළඹ ඉන්න කොට ගමේ ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නෙ නැහැ. දේශපාලනඥයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගලව ගන්න විධියක් තියෙනවා ද? අපට අවශ්‍ය ගම් ප්‍රධානීන් ද? අපි හිතන්නෙ නැති එක නම් ප්‍රශ්නයක් වෙලා. අපේ පොතේ අඩුව පුරවමු.
මෙය මියන්මාරයේ තානාපති මහාචාර්ය නලින්ද සිල්වා මහතා facebook වෙත එක් කර තිබූ ලිපියකි.