Colombo Today Local News

ETI ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබදව ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදුවී ඇතැයි පැවසෙන මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමුකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එසේම, අධිකරණ අමාත්‍යවරයා මඟින් එම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ද කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, “මේ සම්බන්ධයෙන් ආයතන ගණනාවක් තිබෙනවා. ඒ සියලූම ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව ලබා දීලා තියෙන වාර්තාව අනුව, විශාල වශයෙන් අක්‍රමිකතා ගණනාවක් මූල්‍යමය අක්‍රමිකතා, පිටරැටියන්ට මෙහි අයිතිය ලබා ගැනීමට තියෙන තර්ක විතර්ක වැනි කරුණු ගණනාවක් මේ වන විට අධීක්ෂණයට පාත්‍ර වෙලා තියෙනවා. කොමිෂන් වාර්තාව අනුව ඒ සියලු දේ නිවැරදි කිරීමටත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු, මුල්‍ය නොවන ආයතන පාලනය ගැන මහබැංකුවේ තියන ආයතන සම්බන්ධයෙන් විශාල වශයෙන් අක්‍රමිකතා ගණනාවක් සිදුව ඇතැයි ඒ වාර්තාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා… ඒ වාර්තාවේ සඳහන් වෙනවා මේ සමාගම සතුව තවමත් විශාල දේපළ ප්‍රමාණයක් තිබෙන බව. ඒ අනුව අපේ අවසාන තීරණය තැම්පත්කරුවන්ට එමඟින් මුදල් ගෙවා දැමීම. අපි සහතික වෙනවා එය අප විසින් සිදුකරන බව…“ යනුවෙන් ද පැවසීය.

එම යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමුකර තිබේ.

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම්දීමට ද ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව සඳහන් වේ.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදුවූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි 09 වනදා පත් කරන ලදී.

එකී කොමිෂන් සභාව විසින් සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020 ඔක්තෝබර් 6 වනදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

එකී කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ මඟින් සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි සිදු වී ඇති බවට පෙන්වා දී ඇත.

එසේම, මූල්‍ය සමාගම් අධික්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ද එකී කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

Related posts

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

colombotoday

කුණු කන්දට යටවී මිය ගිය අයගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා (Video)

colombotoday