Colombo Today Local News

නවතම කොවිඩ් වෛරස් කාණ්ඩය වාර්තා වන්නේ සමාජයෙන්.. ලාංකිකයන්ට ආවේණිකයි.

කොරෝනාවට මුහුණ දීම වූ කලී දැන් කඩුලු පනිනවා වගේ වැඩක් බවට පත් වී ඇත්තේය. එක කොරෝනාවකින් බේරී යන්න හදන කොටම තවත් කොරෝනා නව ප්‍රභේදයක් එන්නේය.

කොරෝනා වෛරසය මුලින්ම ආවේ චීනයෙනි. ඒ සිද්ධියට වසරක් ගත වී දෙතුන් සතියකට ඉහතදී කොරෝනා නව වෛරසයක් යුරෝපයෙන් සොයා ගත්තේය. එම වෛරසය වැලඳුණු රෝගියෙක් ලංකාවේ සොයා ගත්තේ ගාල්ලේ හෝටලයකදීය. ඔහු එහි නතර වී සිටි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගෙන් කොරෝනා නව ප්‍රභේදය ලාංකිකයන්ට වැලඳී තිබුණේ නැත. ඒ ගැන හිතමින් සැනසුම් සුසුම් හෙළන්නට සෞඛ්‍ය බලධාරීන්ට ඉඩ ලැබුණේ දෙසතියක් පමණි.

අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා නව ප්‍රභේදයක් වැලඳුණු අයෙක් ලංකාවෙන් හමු වූවේය. ඔහු හමු වූයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඔහු යුරෝපයේ සිට ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඔහුට වැලඳී ඇති නව ප්‍රභේදයේ භයානක්වය වන්නේ එය ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යෑමය.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන B.1.351 නම් කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් පසුගිය සතිය වන විට රටවල් අටක් ආක්‍රමණය කර තිබුණි. අද වන විට දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන තිස් එකක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

මේ වෛරසය ලංකාවෙන් සොයා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයක් තුළ කළ දීර්ඝ පර්‌යේෂණයකින් අනතුරුවය. මෙම නව ප්‍රභේද දෙකම ‘කොවිඩ් 19’ වෛරසයේ අනුකාණ්ඩ දෙකක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසද්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර කීවේය.

එහි දී පළමු ප්‍රභේදය වන්නේ N439 නම් කොවිඩ් 19 වෛරස කාණ්ඩයෙහි B.1.258 නම් වෛරස අනුකාණ්ඩයයි.
මේ අනුකාණ්ඩය වැලඳී ඇති රෝගියා නිරෝධායන මධ්‍යස්ථානයක සෞඛ්‍ය අංශවල දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන දැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ මේ නව කොරෝනාව පිටතට යාම වළක්වා ගැනීමටය.

අද වන විට B.1.258 නම් වෛරස අනුකාණ්ඩයට අයත් රෝගීන් බොහෝ පිරිසක් වාර්තා වන්නේ ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල්වලිනි. ඒ නිසා ලංකාවේ දී මෙම වෛරස කාණ්ඩය හැදුණු රෝගීන් වාර්තා වීමට ඉඩක් තවමත් නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විදේශයන්ගේ සිට පැමිණෙන පිරිස් වෙනම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ප්‍රතිකාර කරන බැවින් සමාජයට මෙය කිසිසේත්ම ව්‍යාප්ත නොවන බව වෛද්‍ය චන්දිම ජීවන්දර කීවේය.
මේ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට එවන ලද සාම්පලවලින් තවත් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. මෙසේ ලංකාවෙන් වාර්තා වූ එම වෛරස කාණ්ඩය වන්නේ B1411 නමින් හඳුන්වන වෛරසයයි. මෙය වාර්තා වන්නේ සමාජයෙන් වීමත් විශේෂත්වයකි. සති දෙකක් පුරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රධානත්වයෙන් යුතු පර්‌යේෂණ කණ්ඩායම මගින් කළ පර්‌යේෂණයකින් අනතුරුව නවතම කොවිඩ් 19 වෛරස කාණ්ඩය සොයා ගෙන තිබුණි.

මෙය ලංකාවෙන් වාර්තා වන පළමු ලාංකික කොවිඩ් 19 වෛරස ප්‍රභේදය බව වෛද්‍ය චන්දිම ජීවන්දර කීවේය. මෙම වෛරස් ප්‍රභේදයේ ඇති විශේෂත්වය වන්නේ ලාංකිකයන්ට පමණක් ආවේණික රෝග ලක්ෂණ සහ වෛරස් කාණ්ඩ පෙන්වන බැවිනි.
එමෙන්ම ලෝකයේ කිසිම රටක මෙම වෛරස් කාණ්ඩය වාර්තා වී නැත.

සාමාන්‍යයෙන් මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වේගවත් බැවින් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාවද වැඩිය. තවත් ආකාරයට කියතොත් එංගලන්ත හා දකුණු අප්‍රිකාව වැනි රටවල්වලින් වාර්තා වන වෛරස කාණ්ඩයට වඩා මෙය අතිශයින්ම වෙනස් බව වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

‘‘අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු කොවිඩ් 19වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ජෛව සාම්පලවලින් තමයි අපිට ආවේණික වුණු අලුත්ම වෛරස් ප්‍රභේදය හොයාගත්තේ. මෙය දෙවැනි කොරෝනා රැල්ල සමග පැමිණි වෛරස කාණ්ඩයක් වෙන්නත් පුළුවන්. අනෙක් අතට මේකේ කිසිම භයානක තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉක්මනට වෛරසය ව්‍යාප්ත වුණත් මාරාන්තික ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ කියනවා වගේ තවත් විශේෂත්වයක් මේ වෛරසයේ තියෙනවා. ඒ තමයි ප්‍රතිදේහජනක පරීක්ෂණවලටත් මෙය හඳුනාගන්න නොහැකි වීම. ඒ නිසා මේ වෛරසය පිළිබඳ ඊළඟ පර්‌යේෂණ මට්ටම අපි ලබන සුමානේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.’’

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත අද වන විට රජයේ රෝහල් හයක එන්නත් කරනු ලබන්නේය. ඒ නිසාම අද බොහෝ දෙනෙක්ට පැන නැගෙන ගැටලුව වන්නේ ලංකාවෙන් සොයා ගත් B1411 නම් කොරෝනා වෛරස් ප්‍රභේදයට එන්නත කෙසේ නම් ප්‍රතිචාර දක්වන්නේද කියාය.

මේ පිළිබඳ අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් විමසුවෙමු. එහි දී ඔහු කිවේ ‘‘මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කියන එන්නත B1411 කියන අලුත් කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයට ඔරොත්තු දෙනවා. ඒ ගැන කිසිම බියක් ඇති කර ගන්න ඕනේ නැහැ’’ යනුවෙනි.


-අරුණ-

Related posts

“හිටං හුටංලා මගේ සියලුම සම්පත් උදුරාගත්තා.. යුක්රේනියාවට විත් මා හමුවෙනු“ උදයංග වීරතුංග

colombotoday

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් 581ක් අත්අඩංගුවට

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Admin