වර්ෂ 1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව තෙවර්ෂයක් ගතවීමට පෙර තම නිදහස හා සම්ප්‍රදායික රාජාණ්ඩුක්‍රමය නැවත ගැනීම සඳහා ඉංග්‍රීසි පාලනයට එරෙහිව නිදහස් විමුක්ති සටනක් ඇති විය. 1817 මැද භාගයේ සිට 1818 නොවැම්බර් මස අවසානය දක්වා ඌව වෙල්ලස්ස මුල් කර ගනිමින් උඩරට ප්‍රදේශය පුරා ව්‍යාප්ත වූ ආයුධ සන්නද්ධ කැරැල්ල 1818 නිදහස් සටන ලෙස හැඳින්වේ. මෙම විමුක්ති සටනට අභීත නායකත්වයක් දුන් වීර කැප්පෙටිපොළ වනාහී මාතලේ මොනරවිල ග්‍රාමයේ උපන් බැවින් මොනරවිල කැප්පෙටිපොළ නමින් ද හැඳින්වේ. මෙතුමාගේ පියාණන් වූයේ කන්ද උඩරට රාජධානියේ රාජ්‍ය කළ රාජාධිරාජසිංහ රජුගේ (1782 -1798) දියවඩන නිලමේ පදවිය දැරූ ගොලහැල කැප්පෙටිපොළ නිලමේය. වීර කැප්පෙටිපොළ දිසාවගේ එකම සොයුරිය වූ ඇහැලේපොළ කුමාරිහාමි විවාහ වී සිටියේ මහනුවර රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මහ අධිකාරම් පදවිය දැරූ ඇහැලේපොළ නිලමේ සමඟය.
මහ අධිකාරම් ඇහැලේපොළට විරුද්ධව දෙවන අධිකාරම් වූ මොල්ලිගොඩ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට, ව්‍යාජ කේළම් කියූ නිසා රජුගේ රාජ උදහසට පත්ව සිටි ඇහැලේපොළ පසුව ඉංග්‍රීසින් හා එක්විය.මේ නිසා කැප්පෙටිපොළ දිසාව ද ශ්‍රී වික්රමරාජසිංහ රජුගේ සැකයට භාජනය විය. ශ්‍රී වික්‍රම රාජසිංහ ඇහැලේපොළගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඇහැලේපොළ කුමාරිහාමි හා දරු දෙදෙන ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලදි. මේ නිසා කැප්පෙටිපොළ දිසාව ද ඉංග්‍රීසින්ට සහාය දී ඇතැයි සඳහන්ය. 1815.02.18 දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් පසු කන්ද උඩරට රාජධානිය ද ඉංග්‍රීසින්ට පහසුවෙන්ම යටත් කර ගැනීමට හැකි විය. 1815 මාර්තු 02 ගිවිසුම සිංහලෙන් අස්සන් කළ තිදෙනා අතරට කැප්පෙටිපොළ දිසාව ද අයත් විය. ඉන්පසු මොනරවිල කැප්පෙටිපොළ ඉංග්‍රීසි ආණ්ඩුවේ මාතලේ හා ඌව වෙල්ලස්ස දිසාව ලෙස කටයුතු කළ ද සිංහලය ඉංග්‍රීසින්ගෙන් මුදාගැනීමේ චේතනාවෙන් පසු වූ බව තත්කාලීන වාර්තාවලින් පැහැදිලි වේ. ඒ බැව් ඔහුගේ ආදරණීය බිරිය වූ දෙල්වල කුමාරි හාමිට පැවසූ වදන්වලින් ද පැහැදිලි වේ. 1818 ජාතික සටනේ රහසිගත සැලැසුම් සකස් කිරීමේ පුරෝගාමි මෙහෙවරක යෙදුණේ මල්වතු විහාරයේ වැඩ සිටි ඉහගම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ දේශප්‍රේමි වාග් විලාසයට කැප්පෙටිපොළ දිසාව ද සිය කැමැත්ත දැක්වීය. කැප්පෙටිපොළ ජීවන චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් නම් ඔහුගේ නිර්මල වූ මානසික හැඟීම්ය. ඔහු ඉංග්රීසින්ගේ දිසාපති වශයෙන් සිටියදී වුව ද බටහිර සංස්කෘතියට ගැති නොවීය. ජාති හිතෛශී බව ඔහු තුළ විද්‍යාමාන විය.
මොනරවිල කැප්පෙටිපොළ දිසාව ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන්නේ කැරැල්ල ආරම්භ වී ටික කලකට පසුව වුවද ඔහුගේ ඔද වැඩී ගිය ජාතිවාත්සල්යභාවය කාලීන තොරතුරුවලින් සහ ක්‍රියාකාරකම්වලින් ස්ඵුට වේ. 1817 දී ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ පුරෝගාමීන් වූයේ බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල, මහ බදුලුගම රාළ ඇතුළු අනෙකුත් ගොවිගම වංශිකයන් නොවූ බොහෝ දේශප්‍රේමි ජනතාවය. මේ වන විට රාජප්රාප්තිකයා ලෙස ඔටුනු පැලඳ සිටි දොරේ සාමි හෙවත් විල්බාවේ (ශ්‍රි රාජසිංහ) ඇල්ලීමට ඉංග්‍රීසි පාලකයන් විසින් යෙදවූ මඩිහේ ලේකම් පදවියෙන් පිදුම් ලද හජ්ජි මුහන්දිරම් බූටෑවේ රටේ රාළ විසින් මර්දනය කරන ලදි. හජ්ජි මුහන්දිරම් අල්ලා ඝාතනය කළ බූටෑවේ රටේ රාළ අත්අඩංගුවට ගැනීමට ගිය ඌව උප ඒජන්ත වූ මේජර් ඩග්ලස් විල්සන්ව හිටිහාමි රටේ රාළ විසින් හීයකින් විද ඝාතනය කරන ලදි. ඌව වෙල්ලස්ස ජනතාව රාජ ප්‍රතිරූපකයා වූ දොරේ සාමි රජු සමඟ ඒකරාශි වීමත් සමඟ මුළු ඌව වෙල්ලස්ස පුරා කැරැල්ල බිහිසුණු ලෙසින් ව්‍යාප්ත වන්නට විය. මේ නිසා ආණ්ඩුකාර බ්රවුන්රිග් විසින් කැරැල්ල මර්දනය කිරීමට ඌව දිසාව වූ මොනරවිල කැප්පෙටිපොළට 1817 සැ.22 දින ආයුධ සන්නද්ධ සේනාවක් ද බදුල්ල ඌව වෙල්ලස්සට පිටත් කර හරින ලදි. මේජර් මැක්ඩොවල් යටතේ ද සේනාවක් ඌවට පිටත් කරන ලදී. මොනරවිල කැප්පෙටිපොළ දිසාවගේ මනස ඉංග්‍රීසි විරෝධී හැඟීම්වලින් කැළඹී සිටි බව කාලීන වාර්තාවල සඳහන් වේ. පස්සර අලුපොතදී බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ හා කිවුලේගෙදර හමු වූ කැප්පෙටිපොළ දිසාව කැරැල්ල මෙහෙය වූ සිංහල හමුදාව සමඟ එක් විය. 1817 නොවැ.01 දින කැප්පෙටිපොළ වීරයා ඉංග්‍රීසි භටයින් අමතා මෙසේ ප්‍රකාශ කර ඇත. “තොපේ තුවක්කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තුවක්කු තොපේ ආණ්ඩුකාරයාට බාරදී ඌව දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැඟී සිටින බව දන්වා සිටිව්” මොනරවිල කැප්පෙටිපොළගේ මෙම අභීත ක්‍රියාව ඉතා ආශ්චර්යජනකය. ඔහු ඉංග්රීසින්ගේ ගිනි අවි කිසිවක් පැහැර ගත්තේ නැත. ඉංග්‍රීසි හමුදාව ඝාතනය කළේ ද නැත. එවැනි පහත් නිවට ක්‍රියාවන් ඔහුගේ ජීවන මාර්ගයේ නොමැති වීම සුවිශේෂී ලක්ෂණයකි.
මොනරවිල කැප්පෙටිපොළ සිංහල කැරලිකරුවන්ට එක්වීම ඔවුන්ගේ ධෛර්යයට හා අමන්දානන්දයට හේතු විය. කැප්පෙටිපොළ විරුවා ඉන්පසු දොරේසාමි රජු හමු වී තම සියලු සහාය නිදහස් සටනට ලබා දෙන බව ගිවිස ගන්නා ලදි. දොරේසාමි රජු අතිශයින් පැහැදි තම සේනාධිනායක කම හා අධිකාරම් පදවිය ද කැප්පෙටිපොළට පිරිනැමීය. එතැන් සිට සිංහලය නිදහස් කර ගැනීමේ මහා සටනට කැප්පෙටිපොළ සේනාධිනායක නායකත්වය දෙන ලදි. මේ සමඟ පිළිමතලාවත් මඩුගල්ලත් ජාතික සටනට එක්විය. ඉංග්රීසින්ගේ ඌව දිසාවේ තනතුරට මොල්ලිගොඩ පත් කරන ලදි. සත්කෝරළේ සටන් නායකත්වය, කුරුඳුගොල්ලේ රටේ රාළ විසින් දෙන ලදි. ඇල්ලේපොල නිලමේ ද නිදහස් සටනට එක්විය. මහනුවර සිටි ඇහැලේපොළ, කපුවත්ත හා සතරකෝරළේ දිසාව වටිනා තෑගි රජතුමාට දීමට කැප්පෙටිපොළ වෙත එවන ලදි. එම ත්‍යාග කැරලිකාරයන්ට බෙදා දී ඇත. මෙතැන් සිට ඌව වෙල්ලස්ස කැරැල්ල ශීඝ්‍රයෙන් හඹා ගොස් ඉංග්‍රීසින්ට මහත් ව්‍යසනයක් එල්ල කරන ලදි. 1818 ජනවාරි 21 දින ඉංග්‍රීසින් මාර්ෂල් ලෝ යුද නීතිය පනවා ඉතා ක්‍රෑර අන්දමින් ක්‍රියා කිරීමට ඉංග්‍රීසි භට හමුදාවන්ට නියෝග කර ඇත. ඉංග්රීසින්ගේ බිම් පාළු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඌව වෙල්ලස්ස නම් සශ්‍රික භූමිය විනාශ කරවන්නට විය. 1818 වන විට කැරලිකරුවන්ට දළදා වහන්සේ ද පැහැර ගැනීමට හැකි විය. මෙම කාර්යයට වාරියපොළ සුමංගල හිමිගේ උපකාරය ලැබිණි. 1818 මැයි දෙවන දින හඟුරන්කෙතදී කැප්පෙටිපොළ සේනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දළදා ප්‍රදර්ශනයක් ද පවත්වා දොරේසාමි ශ්‍රී රාජසිංහ නමින් නැවත රාජ්‍යත්වයට පත් කර ගත් බව සඳහන් වේ. කැප්පෙටිපොළ ඉතා හොඳ උසස් වත් පිළිවෙත් දන්න බෞද්ධයෙක් බව මෙයින් තහවුරු වේ. දළදා ප්‍රදර්ශනයෙන් පසු හඟුරන්කෙත පැරණි රජමාලිගාව සමීපයේ වළලා තිබූ ගෙන්දගම් තොගයක් ගොඩගැනීමට සේවකයන්ට නියෝග කර ඒවා වෙඩි බෙහෙත් සෑදීමට බෙදා දෙන ලදි. එය ද එතුමාගේ යුද සැලැස්මක් විය. 1918 මැයි මාසය වන විට සිංහල විමුක්ති සටන ඉතා බලවත් විය. එහෙත් නොසිතූවිරු පරිදි මහා උණ රෝගයක් රට පුරා පැතිර යාම හේවායින්ගේ පසුබෑමකට ද හේතුවිය.
මොනරවිල කැප්පෙටිපොළ හා රජු ප්රමුඛව මෙහෙයවන ලද යුදමය ක්‍රියාන්විත නිසා ඉංග්‍රීසි හමුදා බළකොටු තුළට ගාල්වීම සිදුවිය. එහෙත් ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජවංශය පිළිබඳව යම් යම් ගැටලු මතු වූ අවස්ථාවල පවා වීර කැප්පෙටිපොළ පිළිමතලාවට හා මඩුගල්ලට කියා සිටියේ මේ අවස්ථාවේ භේද ඇති කර ගැනීම යුද්ධමය ක්‍රියාන්විතවලට බාධා සිදුවන බවය. ඉංග්රීසින්ගේ ත්‍යාගවලට නිලතලවලට ගිජු වූ ඇතැම් සිංහලයේ නායකයන්ගේ ක්‍රියා කලාපයන් ද 1818 විමුක්ති සටන පසුබෑමට හේතු සාධක විය. මේජර් ඩොයිල්ගේ රහස් ඔත්තු සේවය ද (උඩරට රෙසිඩන්ට්) කැරැල්ල අසාර්ථක වීමට හේතු විය. එක්නැලිගොඩ හා මොල්ලිගොඩ වැනි දේශද්‍රෝහි නායකයන්ගේ ඉංග්‍රීසි ගැති ක්‍රියා කලාපය ද කැරැල්ල අසාර්ථක වීමට හේතු විය. ඉංග්රීසින්ගේ නොයෙක් වරදාන හා වරප්‍රසාද ගැනීමට සිංහල නායකයන්ම සටන පාවාදීම ඉතා ජුගුප්සාජනක විය. ඉංග්‍රීසි හමුදාව විසින් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා ඝාතනය කර ගේ දොර, වතුපිටි, හරකාබාන, ගහකොළ පලතුරු ද සියලු වාරිමාර්ග ද විනාශ කර ඌව වෙල්ලස්ස මිහිපිට සුසානයක් බවට පත් කරවන ලදි. 1818 අවසාන කාර්තුව වන විට කැප්පෙට්ටිපොළ සේනාධිනායක ඇතුළු රණවිරුවන් දියත් කළ විමුක්ති සටන අසාර්ථකව පසු බසින්නට විය. ඌව වෙල්ලස්ස පමණක් නොව මාතලේ, දුම්බර, යටිනුවර, උඩුනුවර, හේවාහැට, තුන්පනේ, සබරගමුව, සතර කෝරළේ හා සත්කෝරළේ ඇතුළු ප්‍රදේශවල පවා ලැව්ගින්නක් ලෙස පැතිර ගිය 1818 විමුක්ති සටන අවසානයේ ඉංග්රීසින්ගේ කූර ක්‍රියා කලාපය හා ඔවුනට ලැබුණු නව විදේශ හමුදා ශක්තිය නිසා කැරලිකරුවන් ඉංග්‍රීසි හමුදාවල කුරිරු ඝාතනයට හා යටත් වීමට සිදු විය. එක්නැලිගොඩ, මොල්ලිගොඩ යන දිසාවරුනට චනිල්ට හා ලෙන්ටිනන්ට ප්‍රශංසා කර බ්රවුන්රිග් ආණ්ඩුකාරයා රන් පදක්කම් පිරිනමන ලදි. සිංහල හමුදා සතු විශාල ආයුධ ප්‍රමාණයක් ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් ඉංග්‍රීසින් භාරයට ගැනුණි. ඉංග්රීසින්ගේ සාහසික බිම්පාළු ප්‍රතිපත්තිය නිසා සිංහල සේනාවන්ට ආහාරපාන හිඟයක් ද ඇති විය.
සිංහල කැරලි නායකයන් අල්ලා දෙන අයට රන් පගෝදි දහස් ගණනේ ත්‍යාග දෙන බව ඉංග්‍රීසි ආණ්ඩුව නිවේදනය කර තිබුණි. සිංහල නායකයන්ගේ අසමගිය, රාජ ප්‍රතිරූපකයාගේ ගැටලුව හා සටනේ අසංවිධිත ස්වරූපය මෙන් සන්නිවේදන දුර්වලතාවයන් ද සේන්පති කැප්පෙටිපොළගේ පසු බැසීමට හේතු සාධක විය. පිළිමතලාව වැනි කුහකයින්ගේ රජවීමේ කූට ප්රයත්නයන් වීර කැප්පෙටිපොළට තදින්ම බලපාන ලදී. දුර්වල වූ බළකොටුවලට සීමාවී සිටි ඉංග්‍රීසි හමුදාවලට විදේශිය කාපිරි හා මැලේ හමුදාවක් සහායට පැමිණීම සමඟ ඉංග්‍රීසින් නව ජවයකින් සිංහල විමුක්ති සටන ව්‍යර්ථ කරන ලදි. 1818 ඔක්තෝබර් 28 දින වියළි කලාපයේ පරවහගමදී වීරකැප්පෙටිපොළ හා පිළිමතලාව ඉංග්‍රීසින්ට හසු වී පරාජය බාර ගන්නා ලද්දේ සටනකින් තොරවමය. එම ස්ථානයෙන් පලා ගිය මඩුගල්ල විරුවා ද පසුදින ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා ලදී. 1818.11.13 දින කැප්පෙටිපොළ විරුවාණන් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන ලදුව 1818 නොවැම්බර් 26 දින මහනුවර බෝගම්බරදි ගෙල සිඳුවා මරණයට පත් කරන ලදි. ඉන්පසු මඩුගල්ල විරුවාගේ ද හිස ගසා දමන ලදි. වීර කැප්පෙටිපොළ රණවිරුවාණන් අභීතව මරණයට මුහුණ දුන් අතර, මරණ මංචකයේදී පවා එතුමාගේ ඉනේ සඟවාගෙන සිටි ධම්ම පදයේ ගාථා කිහිපයක් කියවීමට පවා පසුබට නොවීය. අභීත විරෝධාර සෙන්පතියකුගේ අවසාන ඉරණම ලක් ඉතිහාසයේ රන් අකුරින් මෙලෙස සටහන් වී අදට වසර 202ක් ගත වී ඇත.
උපාලි ඒකනායක..
දහම් සරසවියේ කථිකාචාර්ය හා කොළඹ
ලංකායතනයේ කථිකාචාර්ය