Colombo Today Local News

තමන් ජාතික ආරක්ෂාවට මුල්තැන නොදුන් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේ දී පිළිගනී

තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා නොදි සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසමේදි පිළිගෙන තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08)දින පළමු දිනට සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණි.

සිය සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ වසර 38 ක් ශ්‍රී ලංකා පොලීසියේ සේවය කළ තමන් 2011 වර්ෂයේ දී විශ්‍රාම ගිය බවය.

කෙසේ වෙතත් 2015 වර්ෂයේ දී එවකට ආරක්ෂක ලේකම්වරයා වු බි.එම්.යු.ඩි බස්නායක මහතා ජාතික බුද්ධි ප්‍රධානි තනතුරට තම නම යෝජනා වී ඇති බව දැනුම්දුන් අතර එකවර එම තනතුර භාර නොගත්ත ද පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුගේ පෙළඹවීම මත ජාතික බුද්ධි ප්‍රධානි ධුරය තමන් භාරගත් බව සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ ය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ, ජාතික බුද්ධි ප්‍රධානි තනතුර භාරගන්නා විට එහි වගකිම් ලෙස ඔබ කුමක් වටහාගෙන සිටියේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අංශ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැනි පාර්ශව අතර සම්බන්ධිකරණය සිදුකිරීම තම කාර්යය ලෙස වටහා ගත් බවය.

එහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, “ඔබ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළ ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලය තුළ බුද්ධි තොරතුරු ගබඩා කරන ආකාරය පිළිබඳ ඔබට දැනුමක් පැවතියේ ද” යන්නය.

ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයේ වැඩකටයුතු අධීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සිටි බැවින් තමන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොතිබුණු බව එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේය.

මෙහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කර සිටියේ, ඔබ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට මුල් තැනක් ලබාදුන්නේ ද යන්නය.

එම ප්‍රශ්නයට සිසිර මෙන්ඩිස් මහතා “ඔව්” යනුවෙන් පිළිතුරු ලබාදුන් විට ජනාධිපති කොමිසම යළි විමසුවේ එම කාලවකවානුවේ ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට මුලිකත්වය ලබාදීම දැන් වරදක් ලෙස දකින්නේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ, තමන් එවකට අනුගමනය කළේ වැරදි ක්‍රියාකලාපයක් බව දැන් පිළිගන්නා බවය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජාතික ආරක්ෂක කවුන්සලය පිළිබඳ සිසිර මෙන්ඩිස් මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්, සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියේ, 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ දින 52 ආණ්ඩුවෙන් පසු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගි නොවු බවය.

එසේම එවකට ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා තමන් අමතා “ජනාධිපති කිව්වා කියලා පොලිස්පතිට කියන්න ආරක්ෂක කවුන්සලයට එන්න එපා” යන්න දැනුම්දෙන ලෙස පැවසුව ද තමන් පොලිස්පතිවරයාට එම දැනුම්දීම කිරීමට අකමැති වු බවත් සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි විමසීම සඳහා අද (09)දින දෙවන දිනටත් කැඳවා තිබේ.

Related posts

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

හාමුදුරුවෝ කතා කලේ රණ විරුවන් වෙනුවෙන්. හාමුදුරුවන්ට ජම්පරය අන්දන්නයි ඕනි උනේ. කණගාටුයි

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday