Colombo Today Local News

ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිතුමා කියා සිටී.

ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස ඊයේ (29)දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.

ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කෙරේ. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත්කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහතික විය.

මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා එහිදී සදහන් කළේය.

ETI සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව ජනාධිපතිතුමා පැවසීය. මූල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියාකරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරිහූ සහ ආයතන දෙකෙහි තැන්පත් කරුවන්ගේ නියෝජිත කණ්ඩායමක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

ඉස්ලාමීය අන්තවාදය එරෙහිව හින්දු එකමුතුව විරෝධතාවක – අන්තවාදයට එරෙහිව එකතුවන්න රටට හිතැති සැමගෙන් ඉල්ලයි.

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday