පොලොන්නරුව යුගයේ නිශ්ශංකමල්ල රජු සමයේ (1187-1196) ලියන්නට ඇතැයි සැලකෙන මෙම ශිලා ලේඛනය අක්ෂර 4300 ක් සහිත කොටස් තුනකින් යුත් පොතක ආකාරයෙන් ලියවී ඇති බැවින් එයට ගල්පොත යන නාමය පටබැඳී තිබේ.
දිගින් අඩි 26යි අඟල් 10ක් හා අඩි 07 යි අඟල් 02ක් පළලින් යුත් මෙම ශිලා ලේඛනය දැඩි ඉඩෝරයටත් මේ දිනවල ඇදහැලෙන මහ වැසිවලටත් නිරාවරණය වීම නිසා එහි ඇතැම් ස්ථානවල පතුරු ගැලවී අක්ෂර ගැලවීයෑමට ආරම්භ වී තිබේ.
නිශ්ශංකමල්ල රජුගේ පරපුරේ නිල සංචාරක සටහන්, නිශ්ශංකමල්ල රජුගේ ආගමික සේවාවන් මෙන්ම කාලිංග වංශිකයන්ට රාජ්‍ය පාලනයට ඇති ඓතිහාසික අයිතිය හා උරුමය ගැන ද මෙම ලිඛිත මූලාශ‍්‍රයේ සඳහන් වන බව පුරා විද්‍යාඥයෝ පවසති. මෙම සෙල්ලිපියේ දෙකෙලවර සෞභාග්‍යයේ සංකේතය වන ගජ ලක්ෂ්මී ස්නානනය කරන ආකාරයේ අපූරු රූකමක් වෙයි. ඒවාද විනාශ වෙමින් තිබේ.
එබැවින් ඓතිහාසික උරුමයක් හා දිවයිනේ මෙතෙක් හමුව ඇති විශාලතම සෙල්ලිපිය ආරක්ෂා කර ගැනීම බලධාරින්ගේ යුතුකම ලෙස ද ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබදව පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුමිත් රණසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
මේ ස්ථානයත් අනෙක් තැන් වගේම කිසිම ආවරණයක් නැති ස්ථානයක්. ස්වභාවික සංසිද්ධියකට මුහුණ දීලා තියෙන්නේ. නමුත් මේ ඓතිහාසික ලියවිල්ල ආරක්ෂා කර ගන්න අපි අව් වැසි ආවරණයක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. දැනට එහි අක්ෂර ප‍්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා.
පොලොන්නරුවේ විද්වතුන් පවසන්නේ ඩොලර් මිලියන ගණනින් මෙම ඓතිහාසික උරුමයන් විදේශිකයන්ට පෙන්වා උපයන මධ්‍යම සංස්කෘතික අරමුදල ඒවා මතු පරම්පරාවට ආරක්ෂා කර දීමට වැඩ පිළිවෙළක් සකසා නැති බවයි. පින්තූරවල දැක්වෙන්නේ ගල්පොත විනාශ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති අයුරුයි.