Colombo Today Sports NewsWorld

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

බැලූ බැල්මට විහිළුවක් සේ වුවත් පෙනී යා හැකි ය. සාම්ප්‍රදායික ගෝත්‍රික ඇඳුම පරදවා කැපී පෙනෙනුයේ ක්‍රිකට් පෑඩයන් ය. ක්‍රිකට් පිති ය. එක් ගෝත්‍රිකයෙක් වැරෙන් පන්දුවට පහර දෙමින් සිටියි.

2012 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන 20-20 ආධුනික ක්‍රිකට් තරගාවලියේ මූලික සුදුසුකම් සපුරාලීමට ද ඔවුහු පසුගියදා සමත් වූහ.

ඒ සඳහා වැර යොදා පුහුණුවීම් සිදු කෙරිණි. උදා වී තිබුණේ කෙන්යාවේ මසායි රණකාමීන් ක්‍රිකට් සෙල්ලම් කරනා යුගයයි.
එහෙත් හුදු ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් වීමට ඔවුන් ට වුවමනා නැත. පරමාර්ථය මුදල් ඉපැයීම හෝ කෙන්යානු ජාතික කණ්ඩායමට ඇතුළත් වීම යයි ද කිව නොහැකිය. ඔවුන් මේ උර දී සිටිනුයේ සමාජ මෙහෙවරකට ය.

සිය ගෝත්‍රික සමාජය තුළ පැතිර පවත්නා කාන්තා චර්ම ඡේදනය හා ළමා විවාහවලට එරෙහි වන නව යුගයේ නියමුවන් වීමට ඔවුන්ට වුවමනා වී තිබේ. එසේ ම ගෝත්‍රිකයන් අතර වේගයෙන් පැතිර යන ඒඩ්ස් රෝගය සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කර ගැනීමට ද ඔවුන්ට වුවමනා ය. ක්‍රීඩාව මේ අරමුණු සඳහාත්, ගෝත්‍රික සංහිඳියාව සඳහාත් එසේම නිරෝගීකම සඳහාත් මනා මෙවලමක් යැයි ඔවුන්ට කීවේ සුදු මහත්වරුන් ය. ඔවුන් දැන් සුදු මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් තණතිල්ලක් සොයන්නේ ඒ නිසා ය.
කෙන්යාවේ ලක්ෂ නවයකට ආසන්න මසායි ගෝත්‍රිකයෝ පිරිසක් ජීවත් වෙති. උතුරු අපි‍්‍රකාවට ආවේණික නියොලිතික වර්ගයේ කලු සම ඇත්තන් ඔවුන් ය. කෙන්යාව හැරුණු විට මසායිවරුන් දැකිය හැක්කේ ටැන්සානියාවේ පමණකි. එය ද ලක්ෂ හතරක් තරම් වන සුළු පිරිසකි.

කාන්තාර සහ වන ලැහැබ් අස්වද්දන්නට මසායි ගෝත්‍රිකයන් ට තිබෙනුයේ සුවිශේෂ හැකියාවකි. ඔවුන්ගේ ගෝත්‍රික ඇවතුම් පැවතුම්වලින් සමහරක් අදටත් පවතින්නේ අතිශයින් ම ප්‍රාථමික මට්ටමේ ය. අදටත් මසායිවරුන් මළ සිරුරු භූමදාන කරන්නේ නැත. ඒ, එසේ කිරීම භූමියට අගෞරවයක් වේ යැයි සිතමිනි.

එනිසා ඒවා කැණහිලුන් ට කා දැමිය හැකි සේ එළි මහනේ ම දමති. බඩගිනිකාර හයිනා සත්වයන් ට ඒවා බොජුන් වේ. එසේ යම් කිසි මළ සිරුරක් සතුන් විසින් කා නොදමන්නේ නම් එය සැලකෙනුයේ අගෞරවයක් ලෙස ය. එවිට ගව ලේ සහ මේදයෙන් මළ සිරුර වසා දැමෙයි.

එනමුත් ශිෂ්ටාචාරය විසින් මසායි ගෝත්‍රිකයන් ව ඇතැම් අංශ අතින් යම් යම් තාක් දුරකට ශිෂ්ටසම්පන්න කර ඇති බව ද පෙනේ. අද වන විට මසායිවරුන් ට අපි‍්‍රකානු ස්වාහිලි බස මෙන්ම ඉංගී‍්‍රසි බස ද යම් තාක් දුරකට හසුරවන්නට හැකි ය. ක්‍රිකට් ගසනා මසායි තරුණයන් තමන් ව හඳුන්වා ගන්නේ “මසායි වොරියර්ස්” ලෙස ය.

සාම්ප්‍රදායික ගෝත්‍රික ආභරණවලින් සියොළඟ වසාගෙන සිටිනා ඔවුන් ට ක්‍රිකට් ක්‍රීඩාව තවත් ආභරණයකි. ඒ ආකාරයට ම මසායිවරුන් ද ක්‍රිකට් පිටියට ආභරණයක් වේවිද? එය අනාගතය විසින් පිළිතුරු සැපැයිය යුතු පැනයකි.

Maasai Cricket Warriors යනුවෙන් ඔවුහු ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යති. මේ දිනවල ඔවුන් සැරසෙන්නේ ලන්ඩනයට ගොස් කෙන්යාවේ මසායි ලකුණ, මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ තබන්නට ය.

උපුටා ගැනීමකි .
ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

Admin

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදීමක්.. වොෂින්ටනය කැළඹෙයි… 4ක් මරුට.

colombotoday

ජාතික යොවුන් ක්‍රීඩා කිරුළ ගම්පහට

colombotoday