Colombo Today Local News

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

2018 වර්ෂයේ ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරයේ සිදු වී තිබෙන අක්‍රමිකතාව නිසා රුපියල් මිලියන 1500ක් රජයට පාඩු වූ බවත් මෙතෙක් කල් ත්‍රිවිධ හමුදාවට දෙන තේ කොළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට නොදී වෙනත් පෞද්ගලික සමාගමකට දීමත් බාල වර්ගයේ බූට් සපත්තු ලබා දීමත් නිසා රුපියල් මිලියන 500ක පාඩුවක් රජයට සිදුව ඇති බවත් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පැවැසීය. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ත්‍රිවිධ හමුදාවට ආහාර, තේ කොළ සහ සපත්තු සැපයීමේ ටෙන්ඩරය මඟින් රජයට රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් සිදු කොට ඇතැයි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා කරන ලද පැමිණිල්ල අනුව ප්‍රකාශයක් ලබා දීමට කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එම මන්ත්‍රිවරයා පෙරේදා (09දා) උදේ 10.00ට පැමිණි අවස්ථාවේදීය.

මන්ත්‍රිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කීය.

මෙම ආහාර ටෙන්ඩරයේ අදාළ සියලු කටයුතු 2017 දෙසැම්බර් අවසන් වන විට සිදු විය යුතුයි. නමුත් අද වන විටත් ආරක්ෂක අමාත්‍යාංශයට එය කරන්න නොහැකි වෙලා තියෙනවා. මෙම ගනුදෙනු අවසන් කරන්න 2017 වර්ෂයේ ටෙන්ඩරයේ ආකාරයටම තමයි 2018 වර්ෂයෙත් ත්‍රිවිධ හමුදාවට ආහාර සපයන්නෙ. ඒ නිසා ත්‍රිවිධ හමුදාව ගැටලු රැසකට මුහුණ පාලා තියෙනවා. මේ සියල්ල සිදුවන්නේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතින්. මේ තියෙන්නේ එතුමාගේ අමාත්‍යාංශයේ තිබිය යුතු ලියුමක්. මේක ඔර්ජිනල් එකක්. එතකොට මේක මගේ අතට ආවේ කොහොමද. ඒක භයානකයි. ඉතිං ආරක්ෂක අමාත්‍යාංශය ගැන අපි මොකක්ද හිතන්න ඕන.

එහෙම අමාත්‍යාංශයක් මඟින් තමයි මෙහෙම වුණේ. නීතිය හා සාමය අමාත්‍යවරයා කියනවා මේ දූෂණය සම්බන්ධ ගණකාධිකාරිවරයා මාරු කරන්න මාස 7ක් ගියා කියලා. ඒ කියන්නේ මේ නිලධාරීන්ට මොන තරම් බලයක් තියෙනවද එහෙම ඉන්න. බිලියන 1.5ක් පාඩු සිදු කරලත් මාස 7ක් හිටියා ගැටලුවකින් තොරව.

දැන් මෙම ගණකාධිකාරිවරුන් අභියාචනා මණ්ඩලය මඟින් මෙම ක්‍රියාව වැරදියි කියලා තියෙද්දිත් ඇමැති මණ්ඩලයට අභියාචනා මණ්ඩලයේ තීන්දුව පිළිගන්න එපා කියලා කියනවා.

එදා තාක්ෂණ මණ්ඩලය ටෙන්ඩර් කමිටුව දෙකම පිළි නොගත්ත මේ නිලධාරීන් අභියාචනා මණ්ඩලයේ තීරණය පිළිගන්න එපා කියනවා. මේ සම්බන්ධව මම ජනාධිපතිතුමාට කිව්වා. එතුමා මා ඉස්සරහම තාක්ෂණ කමිටුවේ සභාපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සරත් කුමාර මහත්තයට කතා කළා. එයා ඇඟ බේරගත්තා මේක අයිති ටෙන්ඩර් කමිටුවට කියලා. පස්සේ ටෙන්ඩර් කමිටුවේ සාමාජික ආරක්ෂක ලේකම්ට කතා කළා. අපි අභියාචනා කමිටුවට මෙම ගැටලුව ඉදිරිපත් කරනවා, ඒක අපි පිළිගන්නවා කියලා ලේකම්වරයා කිව්වා. හැබැයි ඒ අභියාචනාධිකරණයට ටෙන්ඩරය අහිමි වුණ කිසි කෙනකුට ඇයි ටෙන්ඩරය අහිමි වුණේ කියලා දාලා නැහැ. ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩක්. ඒක කළේ මේ හොරකම එළි වෙන නිසා. මම ජනාධිපතිට කිව්වා ඔබගේ අමාත්‍යාංශය තමයි මේක කළේ කිසි නිලධාරියකු විශ්වාස කරන්න එපා කියලා. දැව සංස්ථාවේ සභාපතියි මහනාමයි කළෙත් ඔය ටිකමයි කියලත් කිව්වා. මේක අගමැති ඇතුළු සියලු ඇමැතිවරුන්ට පොදුයි.

අද මේ ආණ්ඩුව එක තැන නතර වෙලා කියලා දැනෙන්නේ මේ නිලධාරීන් කරන හොර වැඩ නිසා. ඔවුන්ට ඕන විදිහට යන්න දෙන්න හොඳ නැහැ. නිලධාරී ඒකාධිපතිභාවය නැති කළ යුතුයි.

දෙවැනි සිද්ධිය තමයි රාජ්‍ය ආයතනයක් වූ “ජනවසම” මෙතෙක් ත්‍රිවිධ හමුදාවට තේ සැපයීම සිදු කළ එක නතර කරල වෙනත් සමාගමකට භාර දීම. රාජ්‍ය ආයතනයකට එහෙම අවසරයක් තියෙනවා. ඒ මඟින් රජය ආර්ථික වශයෙන් දියුණු වෙනවා. එහිදී සිදු විය යුතුව තිබුණේ රාජ්‍ය ආයතනයක ටෙන්ඩරයක් නිකුත් කළ හැක්කේ අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්ගේ අස්සනින් යුතුව ටෙන්ඩරය ඉදිරිපත් කිරීම.

නමුත් මේ අය කළ නරක වැඩේ තමයි ජනවසම සභාපති හා ආරක්ෂක ලේකම් මුණගැසුණා. ජාවාරම්කාර තේ කොළ සමාගමක් ටෙන්ඩරය දෙනකොටම ජනවසමට නොයන්න වැඩේ කළා. ස්ථීර ලේකම්ගේ අස්සන වෙනුවට කබීර් හෂීම්ගේ පෞද්ගලික ලේකම්ගේ අස්සනින් ටෙන්ඩරය දැම්මා. පස්සේ තේ කොළ ජනවසම මඟින් ත්‍රිවිධ හමුදාවට යන එක නතර කළා.

ඒ වගේම මේ ආරක්ෂක අමාත්‍යාංශය හොඳ වර්ගේ බූට් සපත්තු වෙනුවට බාල වර්ගේ ලී කෑලි දාපු බූට් ටෙන්ඩරයක් අරගෙන මුදල් වංචා කරනවා.

මෙන්න මේ පැමිණිලි සම්බන්ධව තමයි මම අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන්නේ. මීට අමතරව විගණකාධි දෙපාර්තමේන්තුවේ හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පැමිණිල්ලක් විභාග වෙනවා.

එහිදී මන්ත්‍රිවරයා වර්තමාන තත්ත්වයද පැහැදිලි කළේ මෙසේය.

අද මේ සම්බන්ධව ජනාධිපතිවරයා නොමඟ යැවීමට අදාළ පාර්ශ්ව සැරසෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයත් ඊට හවුල් කර ගැනීමට වෙහෙස වෙනවා. මං කියන්නේ කයිවාරු නොගහ කැබිනට් මණ්ඩලයට මෙම හොරකමට වංචාවට දූෂණයට විරුද්ධව නැඟිටින්න කියලා.

Mawubima

Related posts

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකින් ජෝන්ට මල පනී.. ඇගට කඩා පැන අමු සිංහලෙන් බැණවදී (Video)

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

සභාවේදී ගුටි ඇණගනී… විවේකයේදී කේක් කවාගනී… ජනතා නියෝජිතයෝ ජනතාව රවට්ටන හැටි – වීඩියෝ සහිතයි

colombotoday

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday