මුස්‌ලිම් පල්ලි ගොඩනැඟීම සඳහා වෙනම මුස්‌ලිම් කටයුතු අමාත්‍යාංශයක් ස්‌ථාපිත කරන මෙන් වෙළෙඳ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා කර සිටියි.
මේ සම්බන්ධව මෙන්ම රෝහින්ග්‍යා ගැටලුව සහ ජාතික ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ විමසා බැලීමට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සම්බන්ධකර ගත්හ.
පහතින් පෙළගැසෙනුයේ උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාව වේ.
ප්‍රශ්නය:- මුස්‌ලිම් පල්ලි ඉදිකිරීමේදී කටයුතු කිරීමට බලය හිමි බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ඉවත්කර එය වෙනම මුස්‌ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයකට පවරන මෙන් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බොදු බල සේනා දරන්නේ කිනම් මතයක්‌ද?
පිළිතුර: මෙය අවඥවෙන් බැහැර කළ යුතු කාරණයක්. මගේ යෝජනාව වන්නේ මේ රටට ආගමික කටයුතු සඳහා තිබිය යුත්තේ එක ආගමික කටයුතු අමාත්‍යාංශයක් පමණයි කියන කාරණයයි. ඊට බෞද්ධ, මුස්‌ලිම්, හින්දු, ඉස්‌ලාම් ඇතුළු ආගම් සියල්ල අයත් විය යුතුයි.
ප්‍රශ්නය:- ආගම් ප්‍රචාරය කිරීමේදී විදෙස් රටවලින් ලැබෙන අතිවිශාල මුදල් ප්‍රමාණයන් නිසා මේ ආකාරයේ යෝජනාවක් ගෙන එන බවට ඇතැමුන් පවසනවා.
පිළිතුර: රටේ වගකිවයුත්තන් දැනගෙනත් නොදන්නවා වගේ හිටියට ආගම් ප්‍රචාරය සඳහා අති විශාල මුදල් සම්භාරයක් රට තුළට ගලාගෙන එනවා. විශේෂයෙන් මුස්‌ලිම් කටයුතු වෙනුවෙන් මැදපෙරදිගින් විශාල මුදලක් ඔය කියන ඇමැතිවරුන්ට ලැබෙනවා. සියලු ආගම්වලට ලැබෙන අරමුදල් මම ඉහත සඳහන් කළ අමාත්‍යාංශය යටතට ගෙන මෙරට වෙසෙන ජනතාවගේ ආගමික ප්‍රතිශතය අනුව එම මුදල් වෙන් කිරීමයි හරිනම් කළ යුතු වන්නේ. මම හිතන්නේ පාලකයන්ගේ වගකීම වියයුත්තේ එයයි.
ප්‍රශ්නය:- ඔබ වහන්සේලා, කොතරම් යෝජනා, චෝදනා, කළත් උපදෙස් ලබා දුන්නත්, නොයෙකුත් එළිදරව්කිරීම් කළත් මතු කළ බොහෝ ප්‍රශ්නවලට තවමත් විසඳුම් ලැබී නැහැ නේද?
පිළිතුර: අප මතුකරන කරුණු කාරණාවලට එළිදරව්වලට ප්‍රතිචාර දක්‌වන එක පාලකයන්ගේ කටයුත්තක්. බොහෝ ප්‍රශ්නවලට පාලකයන් නිවට නියාලු ලෙස කටයුතු කළත් රට හමුවේ බැරෑරුම් ප්‍රශ්න රැසක් ඇති බව රටට පෙන්වා දීමට අපට හැකිවුණා. බලන්න. මුස්‌ලිම් සමාජයේ වර්ධනීය අවස්‌ථාවේදී ඒ සමාජය සම්බන්ධයෙන් ප්‍රශ්නවලින් අප මතු කළා. හලාල් ප්‍රශ්නය, ශරියා නීතිය, මධ්‍යසා පාසල්, ශරියා විශ්වවිද්‍යාලය, නිකාභය, බුරුකාව, වහාබ්වාදය, අන්තවාදී ක්‍රිsයාකාරකම් වැනි කරුණු කාරණා ගැන අප ප්‍රශ්න මතු කළා. අපේ සමාජය අවදි වුණා. නමුත් පාලකයන් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් නිහඬ වුණා.
ප්‍රශ්නය:- පාලකයන් නිහඬ නම් මුස්‌ලිම් පල්ලි සැදීම සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීමක් රට තුළ සිදුවේවි නේද?
පිළිතුර:- බදියුදීන්ට මුස්‌ලිම් පල්ලි හදන්න වෙනම අමාත්‍යාංශයක් දුන්නොත් හින්දු, ක්‍රිස්‌තියානි අයටත් වෙනම අමාත්‍යාංශයක් ඉල්ලයි. යාඥා මධ්‍යස්‌ථාන හදන්නත් වෙනම අමාත්‍යාංශ ඉල්ලයි. එහෙම එක එක ඕන අයට ඕන ලෙස අමාත්‍යාංශ හදන්න දෙන්න බැහැ.
ප්‍රශ්නය:- මේ මුස්‌ලිම් අමාත්‍යාංශයේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව විමසා බලා සොයා බලන බවට එතුමා සඳහන් කර ඇති බවටත් මාධ්‍ය වාර්තා කර තිබුණා.
පිළිතුර:- එවැනි අමාත්‍යාංශයකට ඉඩ දෙන්න එතුමාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. හරිනම් කළ යුත්තේ මේ සම්බන්ධව විධිමත් සාකච්ඡාවක් කිරීමයි.
ප්‍රශ්නය:- ඔබවහන්සේලා ඇතුළු තවත් ජාතික සංවිධාන රට හමුවේ ඇතැයි කියන ප්‍රශ්න ගැන නිතර කතා කරනවා. නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ රට හමුවේ ඇතැයි කියන එම ප්‍රශ්නවලට මුහුණදීම සඳහා ජාතික සංවිධාන එක මිටකට ගොනුවී නොමැති කම නොවේද?
පිළිතුර:- ප්‍රශ්නය තියෙන්නේ ජාතික ව්‍යාපාරයට රටේ පවතින්න පුළුවන්ද කියන කාරණයයි. අපි ප්‍රශ්නයක් මතු කළාම විපක්‍ෂය කියනවා ඔන්න කුමන්ත්‍රණයක් කරනවා කියලා. ආණ්‌ඩුව කියනවා ජාතිවාදීව කටයුතු කරනවා කියලා. ඉතින් ඇත්ත ප්‍රශ්නයට උත්තර දෙන්නේ කවුද? රබර් බෝලයකට ගහනවා වගේ හැමෝම රටේ ප්‍රශ්න එහෙට මෙහෙට පෙරළමින් කටයුතු කරනවා.
ප්‍රශ්නය:- මෙහෙම තත්ත්වයක් තුළ රට හමුවේ ඇති ප්‍රශ්න විසඳන්න හැකියාවක් තිබේද?
පිළිතුර:- මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයකු නොමැතිවීමයි. එහෙම වුණාම එක එක අය එක එක තැන්වල වැඩ කරනවා. මේ වෙලාවෙ රටේ බොහෝම නරක වෙලාවක්. අද ජාතික ව්‍යාපාරය පත්වෙලා තියෙන්නේ කාගේ අතටද. සමහර තරුණ කොටස් හිතනවා මුස්‌ලිම් ප්‍රශ්නයට හූ කියලා, ගල් ගහලා ලේ හලපුවහම ප්‍රශ්නයට උත්තරයක් හම්බවෙනවා කියලා. ඒ අය සමඟ අපි එකතු නොවුණහම කියනවා ඔන්න අපි පාවා දීලා කියලා. අපටත් ගහනවා. අපි හැමෝම මේ වලාවේ බොහෝම පරිස්‌සමින් බොහෝම විචක්‌ෂණශීලිවයි කටයුතු කළ යුත්තේ.
ප්‍රශ්නය:- ඇත්තටම ජාතික ව්‍යාපාරය අද වෙද්දි කා අතේද තිබෙන්නේ.
පිළිතුර:- ජාතික ව්‍යාපාරය මේ වනවිට බරපතළම අනතුරකට ලක්‌වෙලා. මේ තුළ ජාතික ව්‍යාපාර නමින් දේශපාලන ව්‍යාපාර තිබෙනවා. වඩා හොඳ දේශප්‍රේමය කුමක්‌ද කියන එක තෝරාගන්න බැරුවයි තියෙන්නේ.
ප්‍රශ්නය:- මේ තත්ත්වයට ගිය රජයත් වගකියන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?
පිළිතුර:- අනිවාර්යෙන් ඔවුනුත් වගකියන්න ඕන. ඔවුන්ට කරන්න තිබුණු දේවල් ඔවුන් හුඟාක් කළේ නැහැ. හැබැයි අද ඒවා ප්‍රශ්න ලෙස සලකලා කතා කරනවා. බලේ තියෙනකොට මොළේ නැහැ, මොළේ තියෙනකොට බලේ නැහැ කියන්නේ ඕකට තමයි.
ප්‍රශ්නය:- රෝහින්ග්‍යා සරණාගතයන් ගැන මේ දිනවල වැඩි වශයෙන් කථා වෙනවා. මේ පිළිබඳ බොදු බල සේනා දරන්නේ කිනම් මතයක්‌ද?
පිළිතුර:- රෝහින්ග්‍යාවරුන් පිළිබඳ අප කතා කළේ මීට මාස කිපහකට කලින්. අපි මේ ගැන මියන්මාර තානාපති කාර්යාලයට ගොස් එහි තානාපතිතුමන්ව මුණ ගැසී කතා කළා. එතුමා කිව්වේ ඔවුන් බුරුම භාෂාව දන්නේ නැති බවක්. ඔවුන් සම්බන්ධ තීරණයක් ගැනීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පවරනවා කියලා. එතුමා අපට සඳහන් කළා. ඒ වගේම මියන්මාරයේ මතය කුමක්‌ද කියලා මෙරට අධිකරණයට ලිපියකින් දන්වන බව කිව්වා.
ප්‍රශ්නය: මෙරට ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් දරන අවධානය ගැන සෑහීමකට පත්විය හැකිද?
පිළිතුර:- ආණ්‌ඩුව අපට ගහනවා ඇරෙන්න අනිත් හැම දේකටම නිහඬයිනේ. හරිනම් ආණ්‌ඩුව මේ වෙලාවෙ කියන්න ඕනා අප රටට රෝහින්ග්‍යාවරුන් කොපමණ ප්‍රමාණයක් ඇවිත් සිsටිනවා ද කියන කාරණය. ඒ වගේම වෙනත් රටවල සරණාගතයන් මේ රටේ කොතරම් ඉන්නවාද කියන කාරණයත් රජය පැවැසිය යුතුයි.
ප්‍රශ්නය:- රෝහින්ග්‍යා ජාතීන් නවාතැන් ගෙන සිටි ගල්කිස්‌ස ප්‍රදේශයේ නිවසක් පසුගියදා ස්‌වාමීන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් වැටලීමක් කළා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ මෙන්ම මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතා වුණා. මේ සිදුවීම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?
පිළිතුර:- හරිනම් කළ යුත්තේ මොන පැත්තක්‌වත් නොගෙන සිටීමයි. මොන පැත්ත ගත්තත් අපට ගහනවා. සාධාරණය කතා කළත්, අසාධාරණය ගැන කතා කළත් අපට ගහනවා. නිහඬව ඉන්නකොට කියනවා ඔන්න සල්ලි කුට්‌ටියක් අරන් නිහඬව ඉන්නවා කියලා. වගකිවයුත්තන් ප්‍රශ්න විසඳන කම් සහ දඟලන අයට දඟලන්න ඉඩදීලා නිශ්ශබ්දව සිටිනවා නම් තමයි හොඳ
ප්‍රශ්නය:- ඔබ වහන්සේගේ කතාවෙන් පේන්නේ කළකිරීමෙන් සිටින බවයි.
පිළිතුරු;- නැහැ. කළකිරීමෙන් නොවෙයි. ඔහොම තමයි බොදුබලේ පටන් ගන්නකොට කුඩා කුඩා කල්ලි කණ්‌ඩායම් මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථානවලට පහර දුන්නා. අපේ කිසි සම්බන්ධයක් නැති වුණත් ඒ ගැන අපටයි චෝදනා එල්ල වුණේ. එනිසා මට සරලව කියන්න තියෙන්නේ ජාතික ව්‍යාපාරය “පීචං” කර ගන්න එපා කියලයි.
ප්‍රශ්නය:- ගල්කිස්‌ස සිදුවීමෙන් පසු මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ. කලහකාරී චීවරධාරීන් අත්අඩංගුවට ගතයුතු බවයි.
පිළිතුර:- චීවරධාරීන් නොවෙයි හෙට අනිද්දට මොවුන් කියාවි මුඩු මහණුන් කියලා. ඇමැතිවරුන්ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්‌වනවට වඩා කළ යුත්තේ එම ප්‍රශ්නය නැවත නැවත මතුකිරීමයි. නැත්නම් සිදුවන්නේ චීවරධාරියා කතාව කරලියට ඇවිත් සැබෑ ප්‍රශ්නය යට යැමයි.
සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර