ලක්දිව ධර්මාලෝකයෙන් එළිය වූ දිනය පොසොන් පොහෝ දිනය යි. මිහින්තලා උදාගිරෙන් පෑයූ පොසොන් සඳ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. ඒ ධර්මාවලෝකය ස්වභාවික සඳ එළියට දුරු කළ නොහැකි වූ අඳුර දුරලමින් අනුබුදු මිහිඳු හිමියෝ මෙරටට වැඩම කළේ බු.ව. 236 වැන්නෙහි යෙදුණු පොසොන් පොහෝ දිනයේ ය.
පොසොන් පුර පෝය ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනය ද වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුÊදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ අද වන් දිනකය. එනම් මිහින්තලා අම්බස්‌තලය වෙතටයි. දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දාහක් පිරිස මුණ ගැසෙන්නේ මෙහිදීය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ යෙදී සිටි මොහොතකය. රජු ඇතුළු පිරිස දුටු මිහිඳු මහ රහතන් වහන්සේ,
“සමණාමයං මහාරාජ
ධම්මරාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”
මහරජ අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියෙම්හයි වදාළහ. රජුගේ බිය සැක පහ විය. ධර්ම දූතයකු වශයෙන් තම කාර්ය ඉටුකර ගැනීම සඳහා රජු සුදුස්‌සකු දැයි සොයා බැලීමක් වශයෙන් අඹරුක් උවමින් හා නෑ උවමින් රජු බුද්ධි පරීක්‍ෂණයකට යොමු කළහ. රජුගේ නිරවුල් පිළිතුරින් මිහිඳු මාහිමි තම අනාගත කාර්යභාරයේ සාර්ථකත්වය අවබෝධ කර ගත්හ.
මිහිඳු මාහිමියන් රජුට තමේව අනුකම්පාය (ඔබටම අනුකම්පා පිණිස) ආ බව ප්‍රකාශ කිරීමෙන් එහි ගැඹුරු අරුතක් පෙන්නුම් කරවන්නකි. අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පිරුවේ සසර අනේකවිධ දුක් විඳින සත්ත්වයන් ඉන් අත මුදවා සදා සැනසුම ලබාදීමේ හටගත් අනුකම්පාවෙනි. බොදු හදවත් තුළ “අනුකම්පාව, නමැති බීජය රෝපණය වන්නේ මේ අයුරෙනි”
“අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්, ජාතියක් වශයෙන් අපි ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවින් මින් මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක් ඇතිකර දීමේ හටගත් අනුකම්පා සහගත සිතින් යුතුවය.
අටමස්‌ථාන, සොළොස්‌මස්‌ථාන ආදී ෙඓතිහාසික වෙහෙර විහාරස්‌ථාන, සමුදුර පරයන වැව් අමුණු, වේලි, කෙත්වතු, උයන්වතු කියා පාන්නේ මිහිඳු මාහිමියන්ගේ සිත තුළ පහළ වූ අසීමිත අනුකම්පාවේ, දොaංකාරයේ අසිරිමත් බවයි. භෞතික වශයෙන් රටක් දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යෑයි සිතූ මිහිඳු මාහිමි ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ. මිනිසා හදා රට ගොඩනඟමු. යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජගත වන්නේ මේ සිද්ධියෙන් පසු බව වැටහේ. හෙළදිව පළමුව තෙරුවන් සරණ ගිය පන්සිල් රකින පිරිස බවට මොවුහු ඉතිහාසයට එක්‌ව ඇත.
දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට පළමුව මිහිඳු මාහිමි දෙසූ සුත්‍රය වන්නේ, චුල්ලහත්ථිපදොaපම සූත්‍රයයි. තුනුරුවනේ උසස්‌කමද භික්‍ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රේෂ්ඨ ගුණගරුක ජීවිතය ද සිවුසස් දහම් ද විස්‌තර වේ..
මේ සූත්‍රයට අනුව ජානුස්‌සෝනි බ්‍රහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර ඇතිවන සංවාදයේදී පිලෝතික පරිබ්‍රාජකයා ජානුස්‌සෝනි බ්‍රාහ්මණයාට බුදුහිමි හඳුන්වා දෙයි. ඇතුන් වසන වනයේ වාසය කරන (හස්‌ථි ශිල්ප නූගත්) දක්‍ෂ වූ පුරුෂයෙක් දිගු පුළුල් ඇත්පිය ලකුණක් දැක එය මහ ඇතකුගේ යෑයි නිශ්චය කොට දැන ගන්නා මෙන් මමත් බුදුහිමිගේ ගුණ පද සතර දැකීමෙන් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියා ද. උන්වහන්සේගේ ධර්මය ස්‌වාක්‌ඛාත, මනාකොට වදාරණ ලද නිසාද, ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්න මනාකොට සම්‍යක් ප්‍රතිපදාවේ පිළිපන් නිසාද. බුදුන් ප්‍රමුඛ තෙරුවනට පැහැදුනෙමියි දීර්ඝ විස්‌තරයක් කරයි. මෙය ඇසූ ජානුස්‌සෝනි බමුණා රියෙන් බැස උතුරු සළුව එක්‌කොට පොරවා බුදුහිමි වැඩ සිටි දිසාවට වැඳ තුන්වරක් නමස්‌කාර පාඨය කියා නමස්‌කාර කළහ. පසු දිනක බුදුහිමි මුණගැසුන ජානුස්‌සෝනි බමුණාට හස්‌ථිපදොපම ධර්ම දේශනාව අංග සම්පූර්ණව දෙසූහ.
අද වන් දිනක මිහිඳු මාහිමියන් වහන්සේ දෙවනපෑතිස් රජුට මේ සූත්‍රය දෙසීමෙන් ද රජු ද තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය. තෙරුවන් සරණ ගිය උපාසක තෙමේ මින්පසු නිති පන්සිල් රකින්නකු විය යුතුයි.
ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, රහමෙර පානයෙන් වැළකීම.
මේ පංචශීල ප්‍රතිපදාවයි. පන්සිල් ආරක්‍ෂා නොකිරීම පස් පවයි. මිහිඳු මාහිමි, රජු ඇතුළු පිරිස පන්සිල් හි පිහිටුවා දැමුණු හික්‌මුණු පිරිසක් බවට පත්කර ගත්හ. පෑතිස් රජු මුවන් මැරීමේ ෙච්තනාවෙන් පසුපස හඹා යැමෙන් සිදුකර ඇත්තේ බලවත් වරදක් බව. මේ මොහොතේ ඔවුහු සිතට තදින් දැනුණා විය හැක. ලොවක් රටක් සමාජයක් පවුලක් තුළ ජීවත්වන මානවයා බුදු දහමේ ඉගැන්වෙන මූලික ප්‍රතිපදාව වන පංචශීලය අනුව ජීවිත හැඩ ගස්‌වා ගන්නේ නම් නිරවුල් සුන්දර ලොවක් නිර්මාණය කරගත හැකි වේ.
බලකාමය, වස්‌තුකාමය ඉදිරියේ මේ ශික්‍ෂාපද රැකීමේ දුර්වලකම් නිසා සමාජයේ ශීඝ්‍ර පරිහානියක් නිර්මාණය වී ඇත. උපන් දා පටන් අප පංසලේදීත්, පාසලේදීත් ආගමික මුහුණුවරක් ගන්නා උත්සවයකදීත් පන්සිල් සමාදන් වෙන්නෙමු. මෙය කරන්නන් වාලේ කරන චාරිත්‍රයක් බවට අද පත්ව ඇත. මෙයින් ලැබෙන යහපත අයහපත ගැන කෙනකු මනා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් සාරධර්ම අගයන ගුණාත්මක සමාජයක් කරා යා හැක. එවන් සමාජයක අඬදබර, කල කෝලාහල, මිනීමැරුම්, අසමගිකම්, හිංසා පීඩා, බියවැද්දීම්. දූෂණ, පළිගැනීම් ආදී දුර්ගුණ මතු නොවේ.
මිහිඳු මාහිමි පොසොන් පෝදා වැඩම කොට පෑතිස් රජු හා පිරිසගෙන් බලාපොරොත්තු වූයේ භෞතික දියුණුවට වඩා මිනිසා හදා රට හදා ගැනීමයි. එනිසා රජු හා පිරිස තිසරණ ගන්වා පන්සිල්හි පිහිටු වූහ. ධර්ම රාජ්‍යයේ මූලික අත්තිවාරම මේ පංචශීලයයි.
පෙරදා අප රට සාරධර්ම පිරුණු තැනකි. යුග ගණනාවක් යනතුරු එසේ විය. ඉතිහාසය එය ප්‍රත්‍යක්‍ෂ කරවයි. වර්තමානය අතිශයින් දුක්‌මුසුය. හොඳ ලොවක් තනා ගැනීමට නම් රාජ්‍ය පාලකයන් අදාළ ආයතන, ගුරු දෙගුරු, භික්‍ෂුන්, වැඩිහිටියන්. ක්‍රියා කළ යුතුව ඇත. නීතිය බලගැන්විය යුතුය. දහම් පාසල් පෝෂණය කළ යුතුය.