Colombo Today Local News

කොළඹ සතොසට ආ පොල් ගෙඩි 200, 66දෙනෙකුට බෙදා දෙයි

ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම ඊයේ (05 වැනිදා) ආරම්භ කළද කොළඹ ලංකා සතොස කොටුව ප්‍රධාන ශාඛාවට ලබාදී තිබුණේ පොල් ගෙඩි 200 ක් පමණි.

කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව දහස් ගණනක ජනතාව ගැවසුණද, කොටුව ලංකා සතොස ආයතනය මගින් පොල් මිලදී ගැනීමට අවස්ථාව හිමි වූයේ පාරිභෝගිකයන් 66 දෙනකුට පමණි. සීමිත පොල් ප්‍රමාණය නිසා එක් පාරිභෝගිකයකුට අලෙවි කරනු ලැබුවේ පොල් ගෙඩි 03 ක් පමණි.

එලෙස අලෙවි කරන ලද පොල් ගෙඩිද පාරිභෝගිකයන්ට තෝරා ගැනීමට අවස්ථාවක් නොලැබිණි. ඊට හේතුව පොල් ගෙඩි තුන බැගින් සිලි සිලි මලුවල (ෂොපිං බෑග්) අසුරා තිබීම නිසාවෙනි.

පොල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් අලෙවි කිරීම ලංකා සතොස ආයතනය විසින් ඊයේ (05 වැනිදා) ආරම්භ කළේය. පළමු අදියර ලෙස පොල් තොග කොළඹ නගරයට බෙදාහැරීමේ කටයුතු ඊයේ (05 වැනිදා) පෙරවරු 6 සිට ආරම්භ කළ බවත්, ඊයේ දිනයේදී පොල් ගෙඩි 12,500 ක් බෙදාහැරීමට කටයුතු කළ බවත් ලංකා සතොස ආයතනය සඳහන් කරයි.

රජයේ වැවිලි සංස්ථාවලින් පොල් ලබාගෙන මෙලෙස බෙදාහැරීමට කටයුතු කරන බවත්, එක් අයකුට පොල් ගෙඩි පහ බැගින් ලබාදෙන බවත් ලංකා සතොස ආයතනය කියයි.

කෙසේ නමුත්, මාළිගාවත්ත ලංකා සතොස ශාඛාවට ද පොල් ගෙඩි 500 ක් ඊයේ දිනයේදී අලෙවි කිරීමට ලබාදී තිබූ අතර, එක් පාරිභෝගිකයකුට අලෙවි කරනු ලැබුවේ ගෙඩි තුනක් පමණි. බොරැල්ල ලංකා සතොස ශාඛාවට ඊයේ පෙරවරු 10.30 වන විටදීත් අලෙවි කිරීම සඳහා පොල් තොග ලැබී නොතිබිණි.

කොළඹ නගරය ආශ්‍රිත ශාඛා කීපයකදී පමණක් පොල් අලෙවි කිරිම ලංකා සතොස ඊයේ ආරම්භ කළද, පොල් අලෙවි කරන බවට දැන්වීමක් හෝ පළ කිරීමට කටයුතු කර නොතිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා සතොස සේවකයන් කියා සිටියේ සීමිත පොල් තොගයක් පමණක් ලැබී තිබෙන නිසා පාරිභෝගිකයන් විශාල පිරිසක් පොල් මිලදී ගැනීමට පැමිණීම මගින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වියහැකි නිසා දැන්වීම් පළ කිරීමට කටයුතු නොකළ බවය.

කෙසේ නමුත්, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනයේදී පොල් ගෙඩියක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 200 කටය. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 185 කට අලෙවි කෙරුණි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් පොල් මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනකු කියා සිටියේ ‘දැන් එළොව පොල් පෙනෙන’ බවය.

-Aruna

Related posts

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

රට වෙනුවෙන් ශරීරාංග පූජාකළ රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් සහන

colombotoday

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

colombotoday

“උපන් මවත් වැදූ මවත් ස්වර්ගයට වඩා වටී” එනිසා මේ රටේ මිනිසුන්ට හිනාවෙන්න පුළුවන් පරිසරයක් හදන්න – ඥානසාර හිමි

colombotoday